දේශීය කර්මාන්තකරුවන් දිරිගැන්වීම සඳහා ආයතනික වශයෙන් හෝ බදු ක්‍රමයේ හෝ බාධාවන් පවතින්නේ නම් ඒවා ඉවත් කිරීමට කටයුතු කරනු ලබන බවත්, කර්මාන්තකරුවන්ට ලකුණු රැස් කිරීමට සුදුසු තණතිල්ලක් නිර්මාණය කර දීමට අවශ්‍ය පියවර ගන්නා බවත් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

බත්තරමුල්ල දියත උයන පරිශ්‍රයේදී අද (25) පෙරවරුවේ ආරම්භ වුණු ‘Made in Sri Lanka’ දේශීය සම්භාණ්ඩ නිෂ්පාදන අලෙවි ප්‍රවර්ධන සල්පිලේ සමාරම්භයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ අඩපන වූ පාවහන් සහ සම්භාණ්ඩ කර්මාන්ත ක්ෂේත්‍රයට නව පනක් ලබාදිමේ අරමුණින් සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ දේශීය කර්මාන්ත නගාසි‍ටුවීමේ සංකල්පය මත ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සම්භාණ්ඩ නිෂ්පාදන හා පාවහන් සංවර්ධන මධ්‍යස්ථානයේ මැදිහත්වීමෙන් ‘Made in Sri Lanka’ දීපව්‍යාප්ත දේශීය සම්භාණ්ඩ නිෂ්පාදන අලෙවි ප්‍රවර්ධන සල්පිල් මාලාවක් දියත්කර ඇත. මෙම අලෙවි ප්‍රවර්ධන සල්පිල් මාලාවේ දෙවන අදියර අද (2020 අගොස්තු මස 25) දින සිට 27 දක්වා බත්තරමුල්ල දියත උයන පරිශ්‍රයේදී පැවැත්වේ. අලෙවි ප්‍රවර්ධන සල්පිල සඳහා පාවහන්, බෑග් ඇතුලු දේශීය සම්භාණ්ඩ නිෂ්පාදනය කරනු ලබන ආයතන 50ක පමණ සංඛ්‍යාවක් සහභාගි වේ.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය විමල් වීරවංශ මහතා,

“අපේ රටේ පාවහන් නිෂ්පාදනයේ යෙදෙන දේශීය කර්මාන්තකරුවාව දිරිගන්වන්නත් ඔවුන්ගේ නිෂ්පාදන අපේ පාරිභෝගිකයින්ට සමීප කරවන්නත් අවශ්‍ය කෙරෙන අතරමැදි සහයෝගය කර්මාන්ත අමාත්‍යාංශය සහ කාර්මික සංවර්ධන මණ්ඩලය විසින් ලබා දෙන්නේ. දැනට අපි පිටරටින් ගෙන්වන පාවහන්වලට සෙස් බදු පැනවීමක් සිදුකරනවා. ඒ නිසා වෙළෙඳපොළ තුළ දේශීය පාවහන් කර්මාන්තකරුවාට අසරණ වෙන්න අවශ්‍ය තත්ත්වයක් නැහැ. නමුත් නීතිවිරෝධී මාර්ගවලින් සමහරවිට පිටරට පාවහන් අඩුමිලට එන බව පේනවා. ඒ නීතිවිරෝධී මාර්ගවලින් එන එකත් හැකිතාක් දුරට වළක්වන්න අපි අදාළ අංශවලට උපදෙස් දී තිබෙනවා.“

“දැනටමත් අපේ පාවහන් නිෂ්පාදකයින් ඉන්නවා විදේශීය සමහර වෙළෙඳපොළවල් කරා තමන්ගේ නිෂ්පාදන ගෙනයන. ඒක දිරිගන්වන්න අපි සෑම සහයෝගයක්ම දෙනවා.රජය හැටියට අපිට පුළුවන් ඊට තිබෙන බාධා ඉවත් කරන්න. එතකොට දේශීය කර්මාන්තකරුවාට හැකියාව තිබෙනවා, ඒ සුදුසු පරිසරය හදලා දුන්නාම අපනයන වෙළෙඳපොළ පවා අතික්‍රමණය කරන්න. ඒ සඳහා තිබෙන බාධාවන් තිබෙනවා නම්, රජය හැටියට අපි ඒවා ඉවත් කරලා දෙනවා.“

“පහුගිය කාලයේ සෑම කර්මාන්තකරුවාටම අහිතකර වාතාවරණයක් තිබුණේ. බදු ප්‍රතිපත්තිය ගත්තත් සමහර නීතිරීති ගත්තත්, ආයතනවල ආකල්පමය ස්වභාවයෙන් ගත්තත් ඔවුන්ව දිරිගැන්වූවේ නැහැ. ඔවුන්ව අධෛර්යයට පත්කළා. අපි කරන්නේ ඒකේ අනෙක් පැත්ත. ඔවුන්ව දිරිගන්වනවා. ආයතනික වශයෙන්, බදුක්‍රමයේ, තියෙන බාධා තිබෙනවා නම් ඒවා ඉවත් කරලා දෙනවා. ලකුණු රැස් කිරීමට සුදුසු තණනිල්ලක් අපි නිර්මාණය කරලා දෙනවා. ලකුණු රැස් කිරීම දේශීය කර්මාන්තකරුවාගේ වැඩකොටසක්. ඒක ඔවුන් කරයි.“

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here