“වහා සුදුස්සකු නම් කර ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට කරු කරනු” එජාපයට අමතක වූ මන්ත්‍රී ධුරය ගැන සිහි කැඳවීමක්!

වහා ජාතික ලැයිස්තුවේ පුරප්පාඩු මන්ත්‍රී ධූරය සඳහා සුදුස්සෙකු පත් කර ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට ගරු කරන ලෙස ඉල්ලමින් කැෆේ සංවිධානය එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කර තිබේ.

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කැෆේ සංවිධානය පවසන්නේ, එක්සත් ජාතික පක්ෂය තවමත් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා කිසිවෙකු පත් නොකිරීම මගින් එම පක්ෂය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට පයින් ගසා ඇති බවය.

එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ අහමඩ් මනාස් මහතා පෙන්වා දෙන්නේ, පක්ෂ අභ්‍යන්තර අර්බුද නිසා එම පක්ෂය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට බලපෑම් එල්ල කරමින් සිටින බවය.

“මහ මැතිවරණය පවත්වා මාස 7 ට අධික කාලයක් ගතවෙලාත් මේ දක්වා එජාපය ට හිමි ජාතික ලැයිස්තුව සඳහා නියෝජිතයෙක් නම් නොකිරීම ඉතා ම කණගාටුදායක තත්ත්වයක්. මෙම තත්ත්වය නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි එල්ල කළ බලපෑමක් වෙනවා. එම නිසා කැෆේ සංවිධානය විසින් එජාප මහලේකම්වරයා වෙත ලිපියක් අද දවසේ යොමු කරා. විශේෂයෙන් ම වහා ජාතික ලයිස්තුවේ පුරප්පාඩු මන්ත්‍රී ධූරය සඳහා සුදුස්සෙක් පත් කර ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ගරු කරන ලෙස අපි ඉල්ලා සිටිනවා.” 

මහ මැතිවරණය පවත්වා මාස 7කට අධික කාලයක් ඉක්ම ගිය ද තවමත් ජාතික ලැයිස්තුව සඳහා මන්ත්‍රීවරයෙකු නම් කිරීමට අපොහොසත් වීම තුළින් පිළිබිඹු වන්නේ එක්සත් ජාතික පක්ෂයේ දේශපාලනික අරාජිකත්වය බව ද හෙතෙම පෙන්වා දුන්නේ ය.

“ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරය සඳහා මෙතෙක් මන්ත්‍රීවරයෙකු පත්නොකිරීමට ප්‍රධාන හේතුව ඔබ පක්ෂයේ අභ්‍යන්තර අර්බුද බව පැහැදිලි කරුණකි. නමුත් එම අර්බුද සඳහා ඔබ පක්ෂය වෙත ඡන්දය ලබා දුන් ඡන්ද දායකයන් වගකිව යුතු නොවන බව අපගේ අදහසයි.” යනුවෙන් කැෆේ සංවිධානය එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා වෙත යොමු කර ඇති ලිපියෙහි සඳහන් කර ඇත.

ප්‍රකාශයට පත් කර ඇති එජාප ජාතික ලැයිස්තුවට අනුව එහි මුලින් ම සඳහන් වන්නේ, ජෝන් අමරතුංග මහතාගේ නම වුව ද එම නම් කිරීම මෙතෙක් සිදු කර නොමැති බවත් මෙම තත්ත්වය නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි එල්ල කළ බලපෑමක් බව කැෆේ සංවිධානය පවසයි.

2020 අගෝස්තු 5 වන දා පැවති මහ මැතිවරණයෙන් ඡන්ද 249,485ක් ලබාගත් එක්සත් ජාතික පක්ෂය ලැබූ 2.15% ක ඡන්ද ප්‍රතිශතය හේතුවෙන් එම පක්ෂයට එක් ජාතික ලැයිස්තු මන්ත්‍ර ධූරයක් පමණක් හිමිවිය. 

මේ අතර, අදාළ මන්ත්‍රී ධූරය සඳහා එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා නම් කරන බව එම පක්ෂය පසුගිය දා ප්‍රකාශ කළ ද ඒ සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා මෙතෙක් ප්‍රතිචාරයක් දක්වා නොමැත.

එම සංවිධානය යොමු කර ඇති අදාළ ලිපිය පහතින් දැක්වේ.

 572 total views,  15 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply