කොරෝනා වැළඳුණු මාලඹේ එකම පවුලේ තිදෙනෙක් මියයි

කොවිඩ් වෛරසය ආසාදනය වී ප‍්‍රතිකාර සඳහා රෝහල් ගත කිරීමෙන් අනතුරුව 1025/9, 4 වෙනි පටුමග, ගෝනවත්ත, මාලබේ ප‍්‍රදේශයේ පදිංචිව සිටි එකම පවුලේ සාමාජිකයින් තිදෙනෙකු ඉකුත් 03 වනදා මරණයට පත්ව ඇතැයි තලංගම පොලිසිය පැවසීය.
 
 කොරෝනා වෛරසය ආසාදිතව මෙම පිරිස අපේ‍්‍රල් මස (22) දින අංගොඩ අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කර ඇති බවත් රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී වයෝවෘද්ධ අඹුසැමි යුවළක් ඇතුළු නිවසේ එකට වාසය කළ තවත් වයෝවෘද්ධ කාන්තාවක්ද මියගොස් ඇතැයි තලංගම පොලිසිය පැවසීය.
 
 මෙලෙස මියගොස් ඇත්තේ 84 වැනි වියේ පසුවූ ජී.ඒ.ඩී. නාමසේන  ගනේගොඩ නමැති පිරිමි පුද්ගලයෙක් සහ 96 වැනි වියේ පසුවූ ජී.ඒ.ඩී. කමලාවතී ගනේගොඩ නමැති අඹුසැමි යුවළක් මෙන්ම 82 වියේ පසුවූ ඩබ්ලිව්. ඒ. පත්මා ගුණවර්ධන නමැති වයෝවෘද්ධ කාන්තාවක් බවත් පොලිසිය පැවසීය.
 
 මියගිය පිරිමි පුද්ගලයා කඩුවෙල නගර සභාවේ හිටපු නාගරික මන්ත‍්‍රීවරයෙක් බවත් මියගිය ඔහුගේ බිරිඳ විශ‍්‍රාමික හෙදියක් ලෙස සේවය කර ඇති බවත් තොරතුරු අනාවරණය වූ බව ද පොලිසිය පැවසීය.
 
 මරණයට පත්වූ අනෙක් වයෝවෘද්ධ කාන්තාව මියගිය අඹුසැමි යුවළගේ දියණිය විවාහ වී සිටින සැමියාගේ මව බවත් පොලිසිය පවසයි.
 
 ඉකුත් විසි දෙවැනිදා මොවුන් තිදෙනා අයි.ඞී.එච්. රෝහල වෙත ඇතුළත් කර තිබූ අතර පසුගිය තුන්වැනිදා ඔවුන් තිදෙනාම මියගොස් තිබිණි.
 
 ජීවිතක්ෂයට පත්වූ අඹුසැමි යුවළගේ දියණිය කොරෝනා වෛරසය ආසාදනය වී මුල්ලේරියාව රෝහලේ ප‍්‍රතිකාර ලබන බවත් ඇයගේ සැමියා මෙන්ම කුඩා පුතණුවන් නිවසේ නිරෝධායනයට ලක්කර ඇති බවත් ඔවුන් දෙදෙනාගේ නිරෝධායන කාලය මැයි මස පස් වැනිදායින් අවසන් වීමට නියමිත බවත් පොලිසිය පැවසීය.
 
 මියගිය අඹුසැමි යුවළගේ අවසන් කටයුතු මුල්ලේරියාව ආදාහනාගාරයේදී 03 වනදා සිදුකර තිබූ බවත් අනෙක් කාන්තාවගේ අවසන් කටයුතු කොලොන්නාව ආදාහනාගාරයේදී 04 වනදා උදෑසන සිදුකළ බවද පොලිසිය පැවසීය.
 
 සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මාලබේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ වෛද්‍ය නිලධාරි ඇතුළු මහජන සෞඛ්‍ය පරීක්ෂක මහත්වරුන් සහ තලංගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක නලින්ද දිල්රුක් මහතාගේ උපදෙස් මත පොලිස් කොස්තාපල් 92511 චින්තක යන නිලධාරී විසින් සිදු කරනු ලබති.

 562 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply