හොර චෙක්පත් දී සමාගමක බැංකු ගිණුම්වලින් ලක්‍ෂ 430ක් ඇදලා!

ව්‍යාජ චෙක්පත් උපයෝගි කරගනිමින් දිවයිනේ ප්‍රධාන පෙළේ වානේ කම්බි නිෂ්පාදිත සමාගමක් සතු පෞද්ගලික බැංකු ශාඛා කිහිපයක ඇති ගිණුම්වලින් රුපියල් ලක්ෂ 430ක මුදලක් ලබාගත් සංවිධානාත්මක අපරාධකරුවන් කණ්ඩායමක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම අපරාධකරුවන් අදාළ බැංකු තුළින් මෙලෙස මුදල් ලබාගෙන ඇත්තේ අදාළ වානේ කම්බි නිෂ්පාදන ආයතනයේ සේවකයන් විසින් අඳින ලද ඇඳුම් ඇන්දවූ පුද්ගලයන් එම බැංකුවලට යවා බැංකු නිලධාරීන් ද නොමග යවමින් බව වාර්තා වේ.

පසුගිය අප්‍රේල් මස 12 වන දින මෙම මුදල් බැංකු ශාඛා කිහිපයකින් ම ලබාගෙන ඇති බව කරන ලද විමර්ශනයේදී හෙළි වී තිබේ.

අදාළ වානේ කම්බි නිෂ්පාදිත ආයතනය පෞද්ගලික බැංකුවක ගිණුමක පවත්වාගෙන යන ගිණුමක රුපියල් කෝටි ගණනක් ඇති බව මෙම අපරාධ කණ්ඩායම මුලින් අනාවරණය කරගෙන ඇති අතර පසුව එම මුදල් ලබා ගැනීම මෙලෙස සිදුකර ඇත.

මේ පිළිබඳ කළ මූලික විමර්ශනයකදී අදාළ වානේ නිෂ්පාදිත සමාගමට නිකුත් කර ඇති චෙක්පත් ආකාරයට ම සකස් කර තිබූ එම ආයතනයේ ගිණුම්වලට අදාළ චෙක් අංක සටහන් කළ චෙක්පතක් රහස් පොලිස් නිලධාරීන් විසින් හංවැල්ල ප්‍රදේශයේ තිබී සොයාගෙන ඇත.

පසුව ඒ පිළිබඳව දීර්ඝ ලෙස කරන ලද විමර්ශනයේදී එම ව්‍යාජ චෙක්පත මුද්‍රණය කළ බව කියන 37 හැවිරිදි අයෙකු රහස් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු හංවැල්ල ප්‍රදේශයේ මුද්‍රණාලයක් පවත්වාගෙන ගිය අයෙකි. පසුව ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහුට සහායදුන් රණාල ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි අයකු රහස් පොලිසිය අත්අඩංගුවට ගත් අතර ඔහු එක්සත් රාජධානියේ පදිංචිව සිට දැනට මාසයකට පමණ පෙර මෙරටට පැමිණි අයෙකි.

ඔවුන්ගෙන් කරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීමෙන් පසු මොවුන්ට මේ සඳහා ආධාර අනුබල දුන් අදාළ පෞද්ගලික බැංකු නිලධාරියෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුකරගෙන ඇත. ඔහු 34 හැවිරිදි කැලණිය හා කළුඅග්ගල ප්‍රදේශවල පදිංචිකරුවෙකි.

මොවුන් තිදෙනාගේ සැලසුම මත තවත් පුද්ගලයන් හතර දෙනකුට වානේ කම්බි නිෂ්පාදිත ආයතනයට අයත් පෞද්ගලික බැංකු ගිණුමේ චෙක් පත් ලෙස ලබාදුන් චෙක්පත් රැගෙන තවත් පුද්ගලයන් සිවුදෙනෙකු බොරැල්ල, රාජගිරිය, කොටුව, පිටකොටුව, කිරිබත්ගොඩ හා දළුගම යන ප්‍රදේශවල පිහිටි එම පෞද්ගලික බැංකුවට අයත් ශාඛාවලට ගොස් එම චෙක්පත් බැංකු නිලධාරීන්ට ලබාදී එකම දිනයක් තුළ මෙම මුදල් රුපියල් ලක්ෂ 430 ඔවුන් සන්තකයට ලබාගෙන තිබේ.

මෙම පුද්ගලයන් බැංකු නිලධාරීන් රැවටීම සඳහා හා සැකයක් ඇති නොකරගැනීම සඳහා අදාළ වානේ කර්මාන්ත ශාලාවේ සේවකයන් අඳින ඇඳුම්වලට සමාන නිල ඇඳුම් ඇඳගෙන මෙම බැංකු ශාඛාවලට යෑම ද විශේෂත්වයකි.

මෙලෙස චෙක්පත් රැගෙන ගොස් මුදල් ලබාගත් පුද්ගලයන් සිවුදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හඳුනාගෙන තිබූ අතර චෙක්පත් මාරුකිරීම සඳහා වානේ කම්බි ආයතනයේ සේවකයෙකු ලෙස සැරසී බැංකු ශාඛා දෙකකට ගමන් කළ එක් පුද්ගලයකු සී.සී.ටී.වී. කැමරා ඔස්සේ කරන ලද නිරීක්ෂණයේදී අත්අඩංගුවට ගැනීමට රහස් පොලිසියට හැකි වූ අතර සෙසු තිදෙනා කවුදැයි මොහු විසින් හෙළිදරව් කර තිබේ. මෙම පුද්ගලයා පෞද්ගලික සමාගමක විධායක නිලධාරියෙක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් පුළුල් පරීක්ෂණයක් අරඹා ඇත

 455 total views,  15 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply