රෝගීන් වැඩි වුණොත් ඇඳන් සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන සපයන්න හමුදාව සූදානම්!

රටේ පවතින වාතාවරණය අනුව ඉදිරියේදී රෝගීන් සංඛ්‍යාව ඉහළ ගියහොත් අවශ්‍ය පරිදි කොවිඩ් වයිරසයට ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස තවත් ස්ථාන සූදානම් කිරීමට යුද හමුදාව සූදානම් බව ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවැසීය.

යුද හමුදාපතිතුමන් මෙසේද කීය.

ඊයේ (28දා) වෙනකොට ගතවූ පැය 24 තුළ ආසාදිතයන් 1111ක් වාර්තා වුණා. ඊට අමතරව තවත් කොවිඩ් මරණ 08ක් සමඟින් සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යා 655 දක්වා ඉහළ ගියා. එක් ලක්‍ෂ තුන්දහස් හාරසිය අසූහයක් වූ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාවෙන් මේ වනවිට කොවිඩ් ආසාදිතයන් හත්දහස් නවසිය හැත්තෑ පස් දෙනකු තවමත් ප්‍රතිකාර ලබමින් ඉන්නවා.

අපි ඊයේ දිනයේත් සාකච්ඡා කළා ආසාදිතයන්ට ප්‍රතිකාර ලබාදෙන ස්ථාන සම්බන්ධයෙන්. ඉදිරියේදී රෝගීන් සංඛ්‍යාව තවත් ඉහළ ගියහොත් අවශ්‍ය පරිදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තවත් සූදානම් කරන්න යුද හමුදාව සූදානම්. හමුවන සියලුම ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම වෙනුවෙන් පහසුකම් සැලසීමට අවශ්‍ය පියවර ගැනීමට ජනාධිපතිතුමන් උපදෙස් ලබාදී තිබෙනවා. දැඩි සත්කාර ඇඳන් සහ අනෙකුත් ඇඳන් සංඛ්‍යාව ධාරිතාව ඉහළ නැංවීම ගැනත් ඒ සඳහා යොදා ගන්නා රෝහල් මොනවාද කියන කාරණයත් අපි කතිකා කළා. රෝගීන් දවසට දහසක් නෙවේ දෙදහසක් වාර්තා වුණත් ඔවුන් රැක බලා ගන්නා ආකාරය පිළිබඳව අපි සෞඛ්‍ය ප්‍රවීණයන් සමඟ සාකච්ඡා කළා. පසුගිය දවසක වැල්ලවායේ රෝගීන් හමුවුණු අවස්ථාවේ අපි හමුදාවේ ස්ථානයක් දියතලාවේ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කළා. අපිට මොන අභියෝග ආවත් මොන රැලි ආවත් අපි පරදින ජාතියක් නෙවේ. අපි අනිවාර්යයෙන්ම ජාතියක් විදිහට නැඟිටිනවා. මම සෞඛ්‍ය අංශවලට දැනුම් දුන්නා රෝහල්වලට අවශ්‍ය නම් තවත් ඇඳන් දසදහසක් හරි ලබා දෙන්න යුද හමුදාව සූදානම් කියන කාරණාව. ඒ විතරක් නෙවෙයි ලංකාවේ සුවිශේෂීම වෛද්‍ය අංශයක් ශ්‍රී ලංකා යුද හමුදාව සහ ත්‍රිවිධ හමුදාව සතුයි. අපි සූදානම් ඕනෑම හදිසි අවස්ථාවකදී පුහුණුව ලැබූ විනයගරුක මානව සම්පත මේ කටයුතු වෙනුවෙන් යොදවන්න. මේ වාතාවරණයේදී රටේ ජනතාව ආරක්‍ෂා කිරීම උදෙසා කළ යුතු සෑම දෙයක්ම කරන්න යුද හමුදාව ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාව සූදානම්. රටේ ජනතාවගෙන් අපි ඉතාම කාරුණිකව ඉල්ලනවා මේ රටේ නිල ආයතනවලින් නිකුත් කරනු ලබන තොරතුරුවලට පමණක් අවධානය යොමු කරන්න කියලා. මොකද මේ වෙනකොට විවිධ පිරිස් ආයෙත් තමන්ගේ පෞද්ගලික න්‍යායපත්‍ර ජයග්‍රහණය කරන්න විවිධ අසත්‍ය තොරතුරු පතුරවා හරිනවා.

අපේ රටේ රෝගීන් සඳහා වන ඔක්සිජන් අවශ්‍යතාව පිළිබඳ මම පෞද්ගලිකව පැය 12කට සැරයක් සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්තුමාගෙන් අහනවා. තොරතුරු ලබා ගන්නවා. ලංකාවට රෝගීන් සඳහා ලබාදෙන ඔක්සිජන් සපයන ආයතන අපිට කියනවා දැනට අවශ්‍ය පරිදි ඔක්සිජන් සංවිත තියෙනවා කියලා.

මම කියනවා ඔබට හැකි විදිහට හැම වෙලාවකදීම දින කිහිපයකට සරිලන දෑ රැස් කරගෙන සූදානමින් සිටීම හොඳයි කියන දේ. අපිට රටේ ජනතාව බොරුවට බියට පත් කරන්නවත් තිබෙන තත්ත්වය සඟවන්නවත් අවශ්‍ය නැහැ.

 306 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply