බුද්ධ ශ‍්‍රාවක විශ්වවිද්‍යාලය සහ බෞද්ධ පාලි විශ්වවිද්‍යාලය අධ්‍යාපන අමාත්‍යාංශය යටතට පවරාගෙන එහි අධීක්‍ෂණ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා යටතට පවරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පැවසීය.

ජනාධිපතිවරයා එසේ පැවසුවේ ඉකුත් 21 වැනිදා සවස ජනාධිපති කාර්යාලයේදී පැවැති ජනාධිපති බෞද්ධ උපදේශක සභාවේ 05 වැනි සභා වාරයේදීය.

බෞද්ධ උපදේශක සභාව නියෝජනය කරන මහා සංඝරත්නය සහ ජනාධිපති ප‍්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, බෞද්ධ කටයුතු කොමසාරිස් සුනන්ද කාරියප්පෙරුම යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම සාකච්ඡුාවට එක්වූහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙසේද පැවසීය.

රාජ්‍ය ආරක්ෂාව, රාජ්‍ය ප‍්‍රතිපත්ති, අපේ ආගම, අපේ උරුමයන් වෙනුවෙන් විශේෂයෙන්ම සිදුවිය යුතු කරුණු පිළිබඳව උපදෙස් දීම ඉතාමත් වැදගත් වෙනවා. එතකොට තමයි මේ උපදේශක සභාවේ වඩාත්ම ප‍්‍රතිඵල  ලබාගන්නට පුළුවන් වෙන්නේ.

බෞද්ධ විශ්වවිශ්වවිද්‍යාල පිළිබඳව යම්කිසි ප‍්‍රශ්නයක් තිබෙනවා නම්, අපට පුළුවන් බුද්ධ ශ‍්‍රාවක විශ්වවිද්‍යාලය, බෞද්ධ පාලි විශ්වවිද්‍යාල යන දෙක සෘජුවම අධ්‍යාපන ඇමැතිතුමා යටතට ගැසට් කරන්නට. රාජ්‍ය අමාත්‍යවරයා ඒ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරලා කටයුතු කරනවා. මේ විෂය කෙරෙහිම යොමුවෙන්ට තමයි අපි රාජ්‍ය අමාත්‍යවරයෙක් පත් කෙරුවේ. රාජ්‍ය අමත්‍යවරයාට එම රාජකාරිය කරනවාට අමතරව මේ දෙක අපට අවශ්‍ය නම් විශ්වවිද්‍යාල අධ්‍යාපන අමාත්‍යාංශය යටතට ගන්නත් පුළුවන් ඒ වගේම මම සාකච්ඡුා කර බලන්නම් විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව යටතට ගන්න පුළුවන්කම තියෙනවා ද යන්න කියලා.

මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමි

අද ශක්තිමත් පාර්ලිමේන්තුවක්, විනයගරුක පාර්ලිමේන්තුවක් අපිට තියෙනවා. අපිට ලොකු අභිමානයක් ඇති වුණා සියලූම නිලතල ස`දහා කථානායක ධුරයේ ඉඳලා ඉතාම සංවරව සම්භාවනීය විදියට පක්ෂ විපක්ෂ දෙගොල්ලොම එකතු වෙලා විපක්ෂ නායකවරයා පත් කරගන්න තැන දක්වා ඉතාම හොඳින් සිද්ධ වුණා. එදා විපක්ෂ නායකවරයා පත්කළේ අසාධාරණ විදියට. පාර්ලිමේන්තුවේ සංවිධායක පත්කළේ අසාධාරණ විදියට. ඒවා ඉතින් අවශ්‍ය නෑ දැන්. ඒ හැම දෙයක්ම ජයග‍්‍රහණය කළා. ඒ නිසා ඉදිරියට ඒක සිද්ධ කරන්න පුළුවන්. එදත් මේ බෞද්ධ උපදේශක සභාවේ හිටියේ ඒ මතයේ.

පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

මම යෝජනා කරලා තියෙන්නේ අග‍්‍රහාර රක්ෂණය වගේ එකක්. ජෙනරල් ඉන්ෂුවරන්ස් එකක්. ඒක ජීවිත රක්ෂණයක් නෙවෙයි. පැවිද්දෙක්ව ඉන්නා තාක් කාලයක් පුරාවට අසනීප වන්නා වූ ස්වාමීන් වහන්සේ, අම්මා, තාත්තා, නිශ්චිත පිරිසක් සහෝදර සහෝදරියන් රක්ෂණය කරන්න කියලා රක්ෂණ සමාගමක් එක්ක සාකච්ඡුා පවත්තපු වහාම අපිට රක්ෂණය කරන්න පුළුවන්. ඒ

වගේම ඒ රක්ෂණයට වාරික ගෙවන්නේ කොහොමද කියලා මම යෝජනා කරලා තියෙනවා මගේ යෝජනාවෙහි. අපිට පිරිකර විශේෂයක් හදන්න පුළුවන් වවුචර් පත් පිරිකරයක ආකෘතියකින් හදලා දායකයන්ට පූජා කරන කොට ඒ වවුචර්පත් පූජා කරන්න පුළුවන්. ඒ වවුචර්පත් වලින් කිසිම වැඩක් කරන්න බැහැ. ඒ වවුචර්පත්වලින් කරන්න පුළුවන් ඉන්ෂුවරන්ස් ගෙවන එක විතරයි. එතකොට වවුචර් පත් 10 ක් විතර පූජා පරිෂ්කාර වශයෙන් ලැබුණහම උන්වහන්සේගේ වාරිකය ගෙවිලා ඉවර වෙනවා. එතකොට උන්වහන්සේට ඒ අවුරුද්ද ඇතුළත තමන්ගේ ලොකු හාමුදුරුවෝ, අම්මා, තාත්තා, සහෝදර සහෝදරියන් කිසියම් නිශ්චිත ප‍්‍රමාණයක් නඩත්තු කරන්න පුළුවන් රෝහල්ගත රක්ෂණයක් හිමිවෙනවා.

මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල නාහිමි

ශාසනයට අදාළ භික්ෂූන්ගේ අධ්‍යාපනය, අපේ බෞද්ධ අධ්‍යාපනය, ඒ වගේම අපේ සංස්කෘතිය, අපේ පුරාවස්තු පිළිබඳව සංවිධානාත්මකව කතා කරලා රැුස්වෙලා ඒකමතික තීන්දු තීරණ අපි අරන් නෑ. මේ සියල්ලටම මෙතැනයි මේ වරද. අපි දැන් හැම තැනම හිරවෙනවා.

පිරිවෙන් ගැන කතා කරත්, බෞද්ධ විශ්වවිද්‍යාල ගැන කතා කළත්, පුරාවස්තු ගැන කතා කළත් මේ හැම තැනකදීම යම්කිසි තැනක දී කතා කරන එක නතර වෙනවා.

පූජ්‍ය දිවියාගහ යසස්සී හිමිපාණන් වහන්සේ

ලංකාවේ මේ වෙනකොට දාහදහස් එකසිය හැට හතරක් පමණ දහම් පාසල් පවතිනවා. දිනපතා පාසල් ගණනටම ඒවා හාමුදුරුවරු දියුණු කරලා තියෙනවා.

දහම් පාසල්වල විසි දෙලක්ෂ තිස්තුන්දාහක් පමණ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඉගෙන ගන්නවා. ඉතාමත් වැදගත් සේවාවක් සිද්ධ කරනවා. මේ සේවාව පවත්වාගෙන යන්න කවුද උපකාර කරන්නේ. පන්සලේ හාමුදුරුවෝ පුදුම කැපවීමකින් කටයුතු කරනවා. ඒ වගේම පත්වෙලා ඉන්න ගුරුවරු කැපවීමකින් කටයුතු කරන්නේ. ඒ අනුව ලංකාවේ දහම් පාසල්වල එක් ලක්ෂ විසිඅට දාහක් පමණ ගුරුවරු කිසිම ලාභයක්, ප‍්‍රයෝජනයක්, වේතනයක් නැතුව සේවාව සිද්ධ කරනවා. මේ දහම් පාසල් රැුකගන්න නම් මේ ගුරුවරුන්ට තව තවත් දෙන්න පුළුවන් සහාය ඒ අයට ලබාදීම ඉතාමත් වැදගත්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here