දැඩි සත්කාර ඒකක වෙත කොවිඩ් රෝගීන් ඇතුළු කිරීමේ වැඩි ප්‍රවණතාවක් – තරුණ ප්‍රජාව අතර වේගයෙන් ව්‍යාප්ත වෙලා

මේ වනවිට දැඩි සත්කාර ඒකක වෙත කොවිඩ් රෝගීන් ඇතුළු කිරීමේ වැඩි ප්‍රවණතාවක් ඇතැයි සෞඛ්‍ය අංශ ඊයේ (20) අනතුරු හඟවා ඇත.

එසේම මීට පෙර වාර්තා නොවූ ආකාරයට තරුණ ප්‍රජාව අතර රෝගය ව්‍යාප්ත වන බවද අනාවරණය වී ඇත.

කොවිඩ් – 19 වැළැක්වීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ඇතුළු සෞඛ්‍ය අංශ ප්‍රධානීන් සමග පැවැති සාකච්ඡාවකදී මේ බව අනාවරණය වී තිබේ.

කායික රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ ​වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මෙහිදී පෙන්වා දී ඇත්තේ අයි.ඩී.එච්. රෝහලේ මෙවර රෝගීන් අසාධ්‍ය වන තත්ත්වය වැඩිවී ඇති බවය. වයිරසයේ වෙනසක් ඇතිවූ නිසා අසාධ්‍ය වන රෝගීන් ප්‍රමාණය වැඩි බැවින් දැඩි සත්කාර ඒකකවලට යොමු කරන ප්‍රමාණයද ඉහළ ගිය බව විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ‘අරුණ’ කළ විමසුමකදී පැවැසීය. පසුගිය දෙසතිය තුළ මෙම ප්‍රවණතාවට මුල පුරා ඇති බවද හෙතෙම පෙන්වා දුන්නේය.

මේ අයුරින් දැඩි සත්කාර ඒකකවල ඇඳන් පිරී ගියහොත් සෞඛ්‍ය අංශවලට බරපතළ ප්‍රශ්නයකට මුහුණ දීමට සිදුවන බව මෙම සාකච්ඡාවේදී අනාවරණය විය. මීට පෙර කොවිඩ් ආසාදිතයන්ගෙන් බහුතරය වයස අවුරුදු 50 ඉක්මවූ අය වන අතර මෙරටදී මියගිය ආසාදිතයන් 620 දෙනාගෙන් සියයට 78 ක්ම වයස අවුරුදු පනහ ඉක්මවූවන්ය.

 552 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply