නාන විට ඇඟ කසපු ළිඳ ඇතුලේ ගිනිඅවි

නොච්චියාගම පොලිස් වසමට අයත් මුස්ලිම් කොළණිය ප‍්‍රදේශයේ නිවසක් අසල වූ ළිඳක තිබී ගිනිඅවි හතරක කොටස් කිහිපයක් නොච්චියාගම පොලිසිය විසින් සොයාගෙන ඇත.
 
 නොච්චියාගම පොලිස් විශේෂ කාර්යංශ ඒකකය වෙත ලද තොරතුරකට අනුව මුස්ලිම් කොළණිය අංක පහ නිවස පිහිටි ඉඩමෙහි වූ ළිඳක තිබී මෙම ගිනිඅවි කොටස් සොයාගත් බව නොච්චියාගම පොලිසිය පැවසීය.
 
 වසර ගණනාවකින් පිරිසිදු කර නොමැති මෙම ළිඳෙහි ජලය දිය නෑමට භාවිතා කිරීමේදී ශරීරය කැසීමට හේතුවූ නිසා නිවැසියන් විසින් ළිඳ පිරිසිදු කර ඇත. ඒ සඳහා ළිඳෙහි ජලය ඉවත් කිරීමේදී ගිනිඅවි දෙකක කොටස් මතු වී තිබේ. ළිඳ පිරිසිදු කරමින් සිටි පුද්ගලයන් මෙම ගිනිඅවි දෙක පිටතට ගන්නා අවස්ථාවේ දී අසල්වැසියකු නොච්චියාගම පොලිසියට අනුයුක්ත පොලිස් විශේෂ ඒකකයේ නිලධාරියකු වෙත දුරකථනය ඔස්සේ තොරතුරු ලබා දී ඇත. ඒ අනුව ක‍්‍රියාත්මක වූ පොලිසිය එම ස්ථානයට ගොස් එම ගිනිඅවි කොටස් පොලිස් භාරයට ගෙන තව දුරටත් විමර්ශන සිදුකර ඇත.
 
 පරීක්ෂණ කටයුතුවලදී තවත් ගිනි අවි කිහිපයක් ළිඳ තුළ ඇති බවට තහවුරු කරගෙන ඇත. රාත‍්‍රී කාලයේ දී ළිඳ තුළට බැසීමට අපහසු වීම හා ජලය ඉවත් කිරීමට අපහසු වීම මත එදිනට මෙහෙයුම් කටයුතු තවතා පසුදා උදෑසන යළි මෙහෙයුම් කටයුතු ආරම්භ කර ඇත. ඒ අවස්ථාවේදී ළිඳ තුළ වූ තවත් ගිනිඅවි දෙකක කොටස් මෙසේ හමුවී ඇත.
 
 මෙම ගිනිඅවි අතරින් තුනක් ටී පනස් හය වර්ගයේ ගිනිඅවිවලට සමාන බවත් අනෙක් ගිනිඅවිය 12.7 ‘හැක්හැක්’ වර්ගයේ ගිනි අවියකට සමාන බවත් පොලිස් පරීක්ෂණවල දී අනාවරණය වී තිබේ.
 
 මෙලෙස සොයා ගන්නා ලද ගිනි අවි ආරක්ෂක අංශවලට අයත් ද නැතහොත් විදේශයකින් ගෙන්වන ලද ගිනිඅවි ද යන්න තහවුරු කර ගැනීම සඳහා අනුරාධපුර විශේෂ කාර්ය බළකාය මගින් පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇත.
 
 මෙම ළිඳ පිහිටි නිවසෙහි කාන්තාවක, ඇගේ දියණියන් තිදෙනා සහ පිරිමි දරුවකු සමග ජීවත් වන අතර ස්වාමියා කලකට පෙර මියගොස් ඇත. සිද්ධිය සම්බන්ධව කිසිවකුත් අත්අඩංගුවට ගෙන නොමැති බවද පොලිසිය කියයි.
 

 1,079 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply