ප‍්‍රමිති ආයතනයේ අධ්‍යක්‍ෂ ජනරාල්වරිය දඬුකඳේ ගසනවාද? සැබෑ ලෙසම මෙම ප‍්‍රශ්නයට විසඳුම් සොයනවාද?

පිළිකා කාරක පොල්තෙල් මෑතකාලීනව සමාජය තුළ මහත් ආන්දෝලනයකට තුඩුදුන් පුවත විය. පොල්තෙල්වල පමණක් නොව තවත් ආහාරවල පිළිකා කාරක ඇති බවට ප‍්‍රමිති ආයතනයේ අධ්‍යක්‍ෂ ජනරාල්වරිය සිද්ධිකා සේනාරත්න කළ ප‍්‍රකාශය විදුලි වේගයෙන් සමාජයේ පැතිර යන්නේ ඔය අතරවාරයේදීය.
 
 ඇයගේ ප‍්‍රකාශයට අදාළ භාණ්ඩ ලැයිස්තුව දෙන්නැයි පිරිසක් ප‍්‍රමිති ආයතනයට කඩා පැන්නහ. තවත් විවිධ තැන්වලදී මේ ගැන කතාබහ ඇතිවිය. මේ වනවිට එක්සත් ජාතික පක්‍ෂය ද තොරතුරු දැනගැනීමේ පනත යටතේ අදාළ භාණ්ඩවල ලිස්ට් එක ඉල්ලා ඇත.
 
 මෙම සිද්ධිය අරඹයා ප‍්‍රමිති ආයතනයේ අධ්‍යක්‍ෂ ජනරාල්වරිය දඬුකඳේ ගසනවාද එසේ නැතහොත් සැබෑ ලෙසම මෙම ප‍්‍රශ්නය ගැන සොයා බලා ඊට විසඳුම් සොයනවාද යන ප‍්‍රශ්නය අප හමුවේ ඇත.
 
 අප සිතන විදිහට ප‍්‍රමිති ආයතනයේ අධ්‍යක්‍ෂ ජනරාල්වරිය කළ ප‍්‍රකාශයට දඬුවම් ලබා දෙනවාටත් වඩා මෙහි යථාර්ථය තේරුම් ගෙන සැබෑ ලෙසම ජනතාවට පිළිකා කාරක සහිත ආහාරවලින්
 
 මුදාගන්නේ කෙසේද කියා සොයා බැලිය යුතුව ඇත.
 
 අද වෙළෙඳපොළෙහි ඇති බොහෝ කෙටි ආහාර සකස් කිරීමේදී කිසිම සොයා බැලීමක් නැත. වරක් දෙවරක් නොව තුන්හතර වරක් එකම තෙලෙන් මෙම කෙටි ආහාර සකසන වෙළෙන්දෝ අනන්තවත් වෙති. මේ අය ගැන අදත් කිසිදු
 
 වගවිභාගයක් නැත. බොහෝ වෙලාවට ඉදිරිපසින් බොහෝ විට ලස්සනට ඇති හෝටල්වල ඇතුළාන්තය ඉතාමත් අපිරිසිදුය. සමහර අවස්ථාවලදී මෙවැනි හෝටල් වැටලූ විට වාර්තා වුවද සමස්තයක් ලෙස සියලූ හෝටල්වල ප‍්‍රමිතියෙන් යුතුව ආහාර සකස් කරන්නේද යන්න සොයා බැලීමක් නොමැත.
 
 අප රටේ එළවළු පලතුරු ඇතුළු අනෙකුත් නිෂ්පාදනවලදී යොදන විවිධ රසායනික ද්‍රව්‍ය නිසා කෙතරම් දුරට ආහාර දූෂණය වනවාද යන්න මෙතෙක් නිසි සොයා බැලීමක් කර නොමැත. ඒ අර්ථයෙන් ගත්තත් අප දෛනිකව යම් යම් ප‍්‍රමාණයකින් වස විස අපගේ ආහාර මාර්ගයට දමා ගන්නවාට සැක නැත. මිනිසා ගැන මානුෂීයව නොසිතන වෙළෙඳ මාෆියාවක් අප සමාජය තුළ කි‍්‍රයාත්මක වීම නිසා දවසින් දවස අප විඳවන ජාතියක් බවට පත්ව ඇත. එනිසා ආනයනික හෝ වේවා දේශීය නිෂ්පාදනය කරන භාණ්ඩවල නිසි ප‍්‍රමිතිය සොයා බැලීමට කාර්යක්‍ෂම වැඩපිළිවෙළක් සකස් කළ යුතුය. එහිදී ප‍්‍රමිති ආයතනයට, පාරිභෝගික අධිකාරියට මෙන්ම සෞඛ්‍ය ආරක්‍ෂණ අංශවලට වැඩි වගකීමක් පැවරේ. මේ සෑම ආයතනයක්ම නඩත්තු වන්නේත් එහි නිලධාරීන් වැටුප් ලබන්නේත් විවිධ වරප‍්‍රසාද ලබන්නේත් මේ රටේ ජනතාව ගෙවන බදු මුදල්වලින් බව අමතක නොකළ යුතුය.
 
 නමුත් අප රටේ හැමදාම සිදුවන්නේ යම් ප‍්‍රශ්නයක් නැගුණු විට එය දේශපාලනීකරණය කිරීමයි. ඒ තුළින් ජනතාවට අත්වෙන සෙතක් නැත.
 
 වස විස නැති ආහාරපාන සංස්කෘතියක් ඇතිකර ගැනීම සඳහා සෑම පාර්ශ්වයක්ම අත්වැල් බැඳගත යුතුය. වෙළෙන්දා, ආහාර නිෂ්පාදනය කරන ආයතන, ආහාරවල සෞඛ්‍යාරක්‍ෂිතභාවය සොයා බලන ආයතන මෙන්ම පාරිභෝගිකයා ද මෙම කාර්යයේදී දම්වැලක පුරුක් සේ එකට බැදී සිටිය යුතුය. මෙම පාර්ශ්වවල වගවීම එකිනෙකට වෙනස් වුවද සෑම දෙනාම තම කාර්යය නිසි ලෙස ඉටු කළ හොත් අපට හොඳ ආහාර සංස්කෘතියක් නිර්මාණය කර ගැනීමට පුළුවන. ඒ ස`දහා අප රට තුළ චින්තන විප්ලවයක් ඇතිවිය යුතුව ඇත.

 317 total views,  7 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply