මොහාන් පීරිස් ධුරයෙන් ඉවත් කළ වැරැද්ද නිවැරැදි කරනවා

හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් මහතා එම ධුරයෙන් ඉවත් කිරීමට පසුගිය රජය ගත් නීත්‍යනුකූල නොවන ක්‍රියා මාර්ගය නිවැරදි කිරීමට තමන් පියවර ගන්නා බව අධිකරණ ඇමැති, ජනාධිපති නීතිඥ එම්.යූ.එම්. අලි සබ්රි මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (05) ප්‍රකාශ කළේය.

හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් මහතා ධූරයෙන් ඉවත් කිරීම යනු නිවැරදි කළ යුතු වරදක් බවත් එම වරද නිවැරදි කිරීමට අගමැතිවරයා සමඟ සාකච්ඡා කිරීමට කටයුතු කරන බවත් ඇමැතිවරයා පැවසීය. එමෙන්ම අගවිනිසුරුවරයකු ධූරයෙන් ඉවත් කිරීමේ ව්‍යවස්ථානුකූල බලයක් ජනාධිපතිවරයකුට හෝ ජනාධිපති ලේකම්වරයකුට නොමැති බව ද අධිකරණ ඇමැති අලි සබ්රි මහතා සඳහන් කළේය.

ඇමැති අලි සබ්‍රි මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ අගවිනිසුරු ධූරයෙන් ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ඉවත් කළේ පාර්ලිමේන්තුවේ කාරක සභාවක් මගින් දුන් නිර්දේශයක් මත බවත් එය නිවැරදි බවට ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු මඩුල්ලක් විසින්ද තීරණය කළ බවත් ඇමැතිවරයා කීය.

අගවිනිසුරු ධූරයෙන් මොහාන් පීරිස් මහතා ඉවත් කළේ පාර්ලිමේන්තු ක්‍රියා පිටිපාටියෙන් තොරව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් බවත් ව්‍යවස්ථාවට පටහැණිව ගත් එම තීරණය නිවැරදි කළ යුතු බවත් අධිකරණ ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

 284 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply