අකුරු බැරි දෙමාපියන්ගේ දැරුවෝ “SMART” පන්ති කාමරයකට ගොනු කල වික්‍රමය!

“එදා අවතැන් කඳවුරු වල ජීවත්වූ අකුරු ලියන්න කියන්න බැරි දෙමාපියන්ගේ දැරුවෝ අද මේ පාසලේ ‘සුහුරු පංති කාමරයක’ (Smart Class Room) පරිගණක සමඟ ඉගෙන ගන්නවා˝ යි ඩබ් .ඒ.එස්.කේ අරුණතිලක, අ/ කණුගහවැව ප්‍රාථමික විදුහලේ විදුහල්පති පවසයි.

මේ වන විට පසුගිය මාස දෙකට අදාල සියළුම පාඩම් පරිගණක ගතකර අවසානයි. ඒ සඳහා පරිගණක දැනුම ඇති ගුරුවරයෙක්ද නව තාක්ෂණය යොදා ගනිමින් දරුවන්ට ඉගැන්විම සඳහා අනුයුක්ත කර ඇත.
“කවදාවත් පරිගණකයක් දැකලාවත් නැති මේ දරුවන් දැන් ආසාවෙන් ඉගෙන ගන්නාවා” යි ඔහු පැවසිය.
අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් ඉතා දුෂ්කර පාසලක් වූ කණුගහවැව ප්‍රාථමික විදුහල පිහිටා ඇත්තේ කැබිතිගොල්ලෑව නගරයේ සිට කි.මී 15 ක් දුරින් වන අතර දැනට එහි සිසුන් 86 දෙනක් ඉගෙනුම ලබයි. එක වසර සිට පහ වසර දක්වා පංති සහිත මෙම පාසලේ හත් දෙනෙකුගෙන් සමන්විත ගුරු මණ්ඩලයක් ගැමි දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් කැපවී සිටි.

“මේ පාසැලට විදුහල්පති ලෙස මා පැමිණෙන වනවිට සිටියේ ළමුන් 46 දෙනෙක් සහ ගුරු මණ්ඩලයේ දෙදෙනෙක් පමණයි. පාසලේ පංති පැවැත්වුනේද, ගුරුවරුන් රැඳී සියේද එක ශාලාවකයි. එක පංතියක් කරගෙන ගියේ එළිමහනේ, ක්‍රීඩා පිටියක්, ගුරු නිවාසයක් තිබුනේ නෑ, පසුව ස්වාමීන්වහන්සේ නමක ගේ ආධාර මත තවත් ශාලාවක් සහ පුස්තකාලයක් සඳහා කාමරයක් ඉදිකළා” ඔහු පැවසිය.
ගම්වැසියන් 280 ක පමණ පිරිසක් වෙසෙන කණුගහවැව ගම්මානය මෙරට තිස් අවුරුදු යුධ සමයේ මායිම් ගම්මානයක් වූ අතර ගම් වාසීහු වැඩි කලක් අවතැන් කඳවුරු වලට සීමාවී ජිවත් වූහ.

මෝසම් වර්ෂාව සමග ගොඩ ගොවිතැන කරන මොවුන් අනෙක් කන්නයේ කුඹුරු වගාවේ නියැලේ. මෑතක් දක්වා කණුගහවැව ගම්මානයේ සිටියේ රජයේ රැකියා කරන අයවලුන් දෙදෙනෙක් පමණක් වන අතර පසු කලෙක කිහිපදෙනෙක් සිවිල් ආරක්‍ෂක බලකාය සමග සම්බන්ධ විය. මේ වනවිට රජයේ රැකියා ලක්ෂයේ වැඩසටහන යටතේ තවත් දෙදෙනෙක් රජයේ රැකියා සඳහා පත්වීම් ලබා ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ග්‍රාමීය ජනතාව හමුවී ඔවුන්ගේ ගැටළු නිරාකරණය කිරීම සහ විසඳුම් ලබාදීම සඳහා ක්‍රියාත්මක වන ’ගම සමඟ පිළිසඳර’ 04 වැනි වැඩසටහන පසුගිය දෙසැම්බර් මස 30 වැනිදා කැබිතිගොල්ලෑව කණුගහවැව විදුහලේදී පැවැත්වින.
එහිදී පාසලේ පැවති ගැටළු පිලිබඳ සිය අවධානය යොමුකල ජනාධිපති රාජපක්‍ෂ මහතා එදා මායිම් ගම්මානයක්වූ කණුගහවැව ගම්මානයේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් අවැසි බොහෝ දේ ලබාදීමට කටයුතු කරන ලදී .

අද වනවිට කණුගහවැව කනිටු විදුහල පංති කාමර පහක් , ක්‍රීඩා පිටියක්, ගුරු නේවාසිකාගාරයක්, සත්දෙනෙක් ගෙන් යුතු ගුරු මණ්ඩලයක් සහ ‘Smart Class Room’ පංතියක් සහිත සම්පුර්ණ ප්‍රාථමික පාසලක් බවට පත්ව ඇත.

“ගම දියුණු කිරීමට කලයුතු එකම දේ දරුවන් සඳහා හොඳ අධ්‍යාපනයක් ලබාදීමයි. ජනාධිපතිතුමා සිදු කලේ ඒ සඳහා අවශ්‍ය පහසුකම් සලසාදීම. මෙහිදී වඩාත් වැදගත් වන්නේ දෙමාපියන්ට ලබාගැනීමට නොහැකි වූ නිසි පාසැල් අධ්‍යාපනය ඔවුන්ගේ දරුවන් වෙත ලබාදීමයි” අරුණතිලක මහතා පැවසිය.

 809 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply