අද (19) පස්වරුවේ ‘සිරිකොත’ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයට වැඩම කළ වදාළ නුගේගොඩ නාලන්දාරාමාධිපති පුජ්‍ය තීනියාවල පාලිත හිමියන් සහ බෝපිටියේ ධම්මිස්සර හිමියන් ඇතුළු භික්ෂූන්

වහන්සේ 15 නමක් පමණ, එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් වහාම ඉල්ලා අස්වී එම තනතුර හිටපු කතානායක කරු ජයසූරියට බාරදෙන බවට ලිඛිත සහතිකයක්  ලබාදෙන ලෙස රනිල් වික්‍රමසිංහ වෙත දැඩි බලපෑමක් කර ඇතැයි වාර්තාවේ.

මේ අවස්ථාවේදී උණුසුම්කාරී තත්ත්වයක් ද ඇති වූ බවත්, භික්ෂුන් වහන්සේලා ගේ එම යෝජනාව තරයේ ප්‍රතික්ෂේප කළ රනිල් වික්‍රමසිංහ, තමා නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති නිසා මීළඟ නායකයා  කව්දැයි තීන්දු කරනුයේ පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය බැවින් කරු ජයසුරිය සම්බන්ධ යෝජනාව එහිදී ඉදිරිපත් කරන ලෙසත් දැනුම්දුන් බව ‘සිරිකොත’ ප්‍රකාශකයෙක් පැවසිය.

”මීළඟ නායකයා තෝරන දවසට ඔබවහන්සේලා කරු ජයසුරියගේ නමත් යෝජනා කරන්න. එදාට තවත් අය ඉදිරිපත්වේවි. පසුගිය මහ මැතිවරණයේදී වෙනත් පක්ෂවල අපේක්ෂයින් දිනවන්න ප්‍රකාශ නිකුත්කළ කෙනෙකුට එජාප නායකත්ව දෙන්න කියල ද ඔබවහන්සේලා කියන්නේ ” යයි පවසමින් කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම ශාලාවෙන් එජාප නායකයා පිටවගොස් ඇත.


කරුට එරෙහි චෝදනාවක් !

මහ මැතිවරණට සමගි ජන බලවේගයෙන් තරඟ කළ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂකයකුට ඡන්දය දෙන ලෙස ඉල්ලමින් හිටපු කථානායක කරු ජයසූරිය කළ ප්‍රකාශයක් ඇතුළත් වීඩියෝ පටයක් පිළිබඳව පුළුල් පරීක්ෂණයක් කිරීමට එක්සත් ජාතික පක්ෂය අද (19) තීරණය කර ඇත. 

ඉහත සඳහන් භික්ෂුන් වහන්සේලා පිරිස රනිල් වික්‍රමසිංහ හමුවීමට පැමිණ ඇත්තේ, ඉහත වීඩියෝ පටය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කළ යුතු බවට එක්සත් ජාතික පක්ෂ නායකයින් සාකච්ඡා කරමින් සිටින අවස්ථාවේදීය.  

මහ මැතිවරණයේදී වෙනත් පක්ෂයක අපේක්ෂකයකුට ඡන්දය දෙන ලෙස කරු ජයසුරිය කළ ඉල්ලීමක් ඇතුලත් වීඩියෝවක් මේවනවිට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වෙමින් තිබෙන එම වීඩියෝ පටය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භකරන ලෙස එජාප නායකයා ගෙන් ඉල්ලීමක් කර ඇත්තේ හිටපු අමාත්‍ය වජිර අබේවර්ධනයි.

එය පක්ෂයේ විනය කැඩීමක් මෙන්ම, පක්ෂයට ද්‍රෝහිවිමක් බව ඔහුගේ ස්ථාවරය වී ඇතැයි පැවසේ.

වෙනත් පක්ෂයක අපේක්ෂකයෙකුට ඡන්දය දෙන ලෙස කී අයෙකුට පක්ෂ නායකත්වය නොව පක්ෂ සාමාජිකත්වය වත් පක්ෂයේ ව්‍යවස්ථාවට අනුව දිය නොහැකි බව හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන, රනිල් වික්‍රමසිංහ වෙත දැඩි ලෙස අවධාරණය කර තිබේ.

තරුණ සේවා සභාවේ සභාපති වී සිටි එරන්ද වැලිඅංග තමා බොහෝ කලක සිට දන්නා බවත් ඔහු අනාගතයක් තිබෙන තරුණ නායකයකු බවත්  ගරු මන්ත්‍රී යන නමට සුදුසු බවත් දේශපාලනයේ දී එතුමා ඉදිරියට ඒම සුදුසු බවත්  කරූ ජයසූරියගේ අදාළ  වීඩියෝ පටයේ සඳහන් වෙන බවට එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.


LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here