ක්‍රිකට් ක්‍රීඩාවේ කඩා වැටීමට හේතුව ක්‍රීඩකයන්ගේ වැරදි නොව පරිපාලනයේ දුර්වලතා! [VIDEO]

ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවේ හිටපු සාමාජිකයන්ගේ වැරදි ඇත්නම් වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙස පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව පවසයි.

කෝප් සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා මේ බව ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් අනුරාධ විජේකෝන් මහතාට අද (06) දැන්වීය.

ඒ සඳහා නීතිපතිවරයාගේ සහයද ලබාගත හැකි බව කෝප් කමිටු සභාපතිවරයා පවසා තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2017 සහ 2018 මූල්‍ය වර්ෂ සඳහා විගණකාධිපති වාර්තාව සහ එහි වර්තමාන කාර්ය සාධනය පිළිබඳව පරීක්ෂා කිරීමට මෙම කාරක සභා රැස්වීම කැඳවා තිබූණි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුමත කාර්යය මණ්ඩලය 162ක් බවත් ඉන් 123ක්ම කොන්ත්‍රාත් තනතුරුවීමත් විශාල ගැටලුවක් බව කාරක සභාව පෙන්වා දුන්නේය.

මූල්‍ය අංශ ප්‍රධානී, නීති නිලධාරි, තොරතුරු තාක්ෂණ නිලධාරි, අභ්‍යන්තර විගණක යන තනතුරු අනිවාර්යෙන්ම ස්ථීර තනතුරු විය යුතු බවද කාරක සභාව පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රසම්පාදන කටයුතු අවධිමත් වන අතර බවත් එය විධිමත් කිරීම වෙනුවෙන් නිසි ක්‍රමවේදයක් සැකසිය යුතු බවත් කාරක සභාව නිර්දේශ කළේය.

ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ මැදිහත්වීම පවතින තත්ත්වයට වඩා ඉහළ මට්ටමක පැවතිය යුතු බවටද කාරක සභාවේදී සාකච්ජා විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මඟින් ක්‍රීඩා සංගම්වලට මුදල් ලබාදීම සඳහා නිවැරදි ආකෘතියක් සැකසිය යුතු බවටද කාරක සභාව නිර්දේශ කළේය.

ක්‍රීඩා පනත කඩිනමින් සංශෝධනය කළ යුතු බවටත් ඒ වෙනුවෙන් වහාම කටයුතු කරන ලෙසත් කාරක සභාව ක්‍රීඩා අමාත්‍යංශයට සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දුන්නේය.

මෙරට ක්‍රිකට් ක්‍රීඩාව දැවැන්ත කඩා වැටීමට හේතුව ක්‍රීඩකයන්ගේ වැරදි නොව ක්‍රිකට් පරිපාලනයේ දුර්වලතා බව කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මාහාචාර්ය චරිත හේරත් මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

2018 වසරේදී දකුණු අප්‍රිකා – ශ්‍රී ලංකා ක්‍රිකට් සංචාරයට අදාළව අනුග්‍රාහක අයිතිය වෙනුවෙන් ලැබිය යුතු ආදායම වූ රුපියල් මිලියන 29ක මුදල මෙතෙක් අයකර නොගැනීම සම්බන්ධව කාරක සභාව ප්‍රශ්න කළ අතර, ඊට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමර්ශනයක් මේ වන විට ආරම්භ වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලි ද සිල්වා මහතා කාරක සභාවට දැන්වීය.

මේ සම්බන්ධව පරීක්ෂණයක් පවත්වා එහි වාර්තාව මාස 03 ක් ඇතුළත කාරක සභාවට ලබාදෙන ලෙස සභාපති මහාචාර්යය චරිත හේරත් මහතා  ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් අනුරාධ විජේකෝන් මහතාට දැනුම් දුන්නේය.

එම මුදල ඩයමන් චැනල් නම් ඇමෙරිකානු ජාතිකයෙකුගේ ගිණුමකට ඇතුළත්ව ඇති බවත්, එය සිදුවූයේ කෙසේද යන්න පිළිබඳව විමර්ශනවලදී අවධානය යොමුව ඇති බවත් කාරක සභාවේදී අනාවරණය විය.

චන්දික හතුරුසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන පුහුණුකරු ලෙස බඳවා ගැනීමට අදාළ ගිවිසුම දෝෂ සහිත වීම හේතුවෙන් නෛතික ක්‍රියාමාර්ග ගැනීම සඳහා මේ වනවිට වියදම් කර ඇති මුදල රුපියල් මිලියන 30 ක් බවද කාරක සභාවේදී අනාවරණය විය.

2019 වසරේ මූල්‍ය ප්‍රකාශනවලට පැවැති උපචිත වියදම් රුපියල් 18,857,016 ක් හා ගෙවිය යුතු ශේෂවල ඇතුළත් ක්‍රීඩාංගන ණයහිමියෝ රු.26,664,834ක් හා වෙනත් ගෙවිය යුතු ශේෂ රු.38,152,606ක් සහ වෙනත් ණයගැතියෝ රු 937,645ක් මුලාශ්‍ර ලියවිලි නොමැතිවීම හේතුවෙන් 2020 වසරේදී ගිණුම්වලින් කපාහැර තිබීම සම්බන්ධයෙන් කෝප් කමිටුව ශ්‍රී ලංකා ක්රිවකට් ආයතනයට දෝෂාරෝපණය කළේය.

මීට වගකිව යුතු නිලධාරීන් ඇතුළු අදාළ පාර්ශ්ව වෙනුවෙන් කඩිනමින් නෛතික ක්‍රියාමාර්ග ගතයුතු බවටද කාරක සභාව නිර්දේශ කළේය.

පොළොන්නරුව හිඟුරක්ගොඩ ප්‍රදේශයේ ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයක් සහ බහු ක්‍රීඩා සංකීර්ණයක් ඉදිකිරීම වෙනුවෙන් මේ වන විට රුපියල් මිලියන 132ක් වියදම් කර තිබුණද ඊට අදාළ ඉඩම සඳහා මෙතෙක් හිමිකම් ඔප්පුවක් ලබානොගැනීම සම්බන්ධව කාරක සභාවේ විශේෂ අවධානය යොමුවිය.

කඩිනමින් එම ගැටලුව විසඳාගැනීමට පියවර ගන්නා ලෙස කාරක සභාව ක්‍රීඩා අමාත්‍යාංශයට දැන්වීය. මෙවැනි කාරණා මඟින් පෙනීයන්නේ  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවිධිමත් වැඩපිළිවෙල බව ද කාරක සභාවේ සභාපතිවරයා කීවේය.

ක්‍රීඩා අමාත්‍යංශය විසින් පත්කරන ලද අතුරු කමිටුවේ කාලසීමාව තුළ අදාළ බලධාරීන්ගේ අනුමැතිය නොලැබුනු රුපියල් මිලියන 26ක් අගය වූ ව්‍යාපෘති 04 ක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතහැර දමා තිබෙන බවද කාරක සභාවේදී අනාවරණය විය.

2015 වසරේ සිට 2019 වසර දක්වා වූ කාලපරිච්ජේදයකට අදාළ රු. 10,292,337ක් වූ තරඟ අත්තිකාරම් සහ 2007, 2008, 2016 හා 2017 යන වසරවල ක්‍රිකට් සංගම්වලට දෙන ලද රු.7,764,050ක ඉදිකිරීම් අත්තිකාරම් නිරවුල් කිරීමකින් තොරව දිගින් දිගටම පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ද කාරක සභාවේ විශේෂ අවධානය යොමු විය.

එමෙන්ම 2014, 2015, 2016 සහ 2017 වසර වලට අදාළ එකතුව රු. 18,785,305ක් වූ ගෙවිය යුතු ණයහිමි ගිණුම් 69 ක් 2020 වසරේදී මූල්‍ය  ප්‍රකාශනවලින් කපාහැර තිබීම සම්බන්ධයෙන් ද කාරක සභාවේදී අනාවරණය විය.

මේ පිළිබඳව වහාම සොයාබලන ලෙස ද කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්රී6 මාහාචාර්ය චරිත හේරත් මහතා ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්වරයාට දැනුම්දුන්නේය.

දේශීය ක්‍රීඩා පිටි සහ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගන ඉදිකිරීම සහ වැඩිදියුණු කිරීම සඳහා 2010 වසරේ සිට පැවත එන රු. මිලියන 16ක් වූ අත්තිකාරම් ගෙවීම් ගිණුම් ශේෂ 01 ක් 2020 වසරේ වසරේ ගිණුම්වලින් කපාහැර තිබීම සම්බන්ධයෙන් ද කාරක සභාව සිය නොසතුට පළ කළේය.

ප්‍රසම්පාදන මාර්ගෝපදේශ නිසිපරිදි ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙවැනි ගැටලු රැසක් මතුව ඇති බවත්, පිළිගත් රාමුවක් තුළ ආයතනය ක්‍රියාත්මක විය යුතු බවත් කාරක සභාවේ මතය විය.

මෙම කාරක සභා රැස්වීමට ක්‍රීඩා අමාත්‍යංශයේ නිලධාරීහු මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරිහු ද  සහභාගි වූහ.

මෙම රැස්වීමට සහභාගී වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවේ හිටපු නිලධාරීන් කිහිපදෙනෙක් ද පාර්ලිමේන්තුවට පැමිණ සිටියද ඔවුන්ගේ ධූර කාලය අවසන්වීම හේතුවෙන් එම නිලධාරීන් රැස්වීමට සහභාගී කර නොගැනිණි.

 676 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply