පාස්කු ප‍්‍රහාරය වළක්වා නොගැනීම – මෛත‍්‍රී ඇතුළු 12 ක ගෙන් මිලියන 500 ක් වන්දි ඉල්ලයි

පාස්කු ඉරිදා එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර වළක්වා ගැනීමට නිසි පියවර නොගැනීමෙන් සිය සේවාදායකයා වන නීතිඥ මෝදිත ටී. බී. ඒකනායක මහතාට සිදු වූ ශාරිරික හා මානසික පීඩාවලට රුපියල් මිලියන 500 ක වන්දියක් ගෙවන ලෙස දන්වා නීතිඥ සුජීව ගුණතිලක මහතා හිටපු ජනපති මෛති‍්‍රපාල සිරිසේන, හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ යන මහත්වරුන් ඇතුළු 12 දෙනකුට එන්තරවාසි යවනු ලැබීය.

හිටපු රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන, හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු, හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක, හිටපු නාවික හමුදාපති පි‍්‍රයාල් ද සිල්වා, හිටපු ගුවන් හමුදාපති කපිල ජයම්පති, හිටපු ති‍්‍රවිධ හමුදා මාණ්ඩලික ප‍්‍රධානී රවින්ද්‍ර විජේගුණරත්න, හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප‍්‍රධානී නිලන්ත ජයවර්ධන, හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පි‍්‍රයලාල් දසනායක හා නීතිපතිවරයාට ද එකී එන්තරවාසිය යවා ඇත.

කොළඹ ෂැංගි‍්‍රලා හෝටල් පරිශ‍්‍රය තුළදී සිදු වූ බෝම්බ ප‍්‍රහාරයකට ගොදුරු වී සිය සේවාදායකයා වන නීතිඥ මෝදිත ටී. බී. ඒකනායක බරපතළ තුවාල ලබා මාස 7 කට අධික කාලයක් බරපතළ තත්ත්වයෙන් ප‍්‍රතිකාර ලැබූ බවත්, නීතිඥ සුජීව ගුණතිලක මහතා එම එන්තරවාසිය මගින් පෙන්වාදී තිබේ.

බෝම්බකරුවන්ට එම හෝටල් පරිශ‍්‍රය තුළට ඇතුළුවීමට ඉඩ ලැබී ඇත්තේ එහි නිසි ආරක්ෂක පද්ධතියක් ස්ථාපිත කර නොතිබීම හෝ එකී ආරක්ෂක නිලධාරීන්ගේ නොසැලකිල්ල මත වන හෙයින් සිය සේවාදායකයාට ඇමරිකානු ඩොලර් මිලියන 1 1/2 ක වන්දියක් ගෙවන ලෙසට ද දන්වා කොළඹ ෂැංගි‍්‍රලා හෝටලයේ අධ්‍යක්ෂ මණ්ඩලයට ද නීතිඥ සුජීව ගුණතිලක මහතා තවත් එන්තරවාසියක් යවා ඇත.

ෂැංගි‍්‍රලා හෝටලයේදී මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවා ගත් බෝම්බකරුවකු වන ඉන්ෂාෆ් අහමඞ් ඉබ‍්‍රාහිම් නමැත්තාගේ පියාට සහ එම බෝම්බකරුවන්ගේ අනෙකුත් සහෝදරයන් තිදෙනාට ද එන්තරවාසියක් යවමින් සිය සේවාදායකයාට රුපියල් මිලියන 400 ක වන්දියක් ගෙවන්නැයි නීතිඥ සුජීව ගුණතිලක මහතා දන්වා තිබේ.

ප‍්‍රකට ව්‍යාපාරිකයකු වන යුෂුෆ් මොහොමඩ් ඉබ‍්‍රාහිම් නමැත්තා සහ ඔහුගේ සෙසු පුතුන් තිදෙනා මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර ඇති හෙයින් එකී එන්තරවාසිය බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා මාර්ගයෙන් මෙන්ම ඔවුන් පදිංචිව සිටි දෙමටගොඩ මහවෙල උද්‍යානයේ පිහිටි නිවසේ ලිපිනයට යැවීමට ද නීතිඥවරයා පියවර ගෙන ඇත.

දින 14 ක් ඇතුළත එකී වන්දි මුදල් නොගෙවන්නේ නම් ඒවා අයකර ගැනීම සඳහා නිසි අධිකරණයක් හමුවේ නඩු පැවරීමට පියවර ගන්නා බවත් එකී එන්තරවාසි මගින් දන්වා තිබේ.

 258 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0

Leave a Reply