මහාචාර්ය අර්ජුනගේ මූලිකත්වයෙන් ක්‍රිකට් පරිපාලනයට නව කමිටුවක්!

වත්මන් ක්‍රිකට් පරිපාලකයන්ගේ නිලධාරීන්ගේ නිල කාලය අවසන්ව ඇති හෙයින් ඉදිරියේදී පැවැත්වෙන නිලවරණය තෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය සඳහා සාමාජිකයන් 5 දෙනෙකුගෙන් යුත් නව කළමනාකරණ කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා ඇමති නාමල් රාජපක්‍ෂ මහතා පියවර ගෙන තිබේ.

ඒ අනුව, එම නව කමිටුවේ මූලිකත්වය මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා විසින් දරන අතර, සෙසු සාමාජිකයන් ලෙස අමල් එදිරිසූරිය, ඈෂ්ලි ද සිල්වා, සුජීව මුදලිගේ සහ උචිත වික්‍රමසිංහ යන මහත්වරුන් ඇතුළත්ව සිටී.

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය මැයි 20 වන දා පැවැත්වෙන අතර, එම නිලවරණය තෙක් මෙම නව කළමනාකරණ කමිටුව ක්‍රිකට් පරිපාලනයේ ඉදිරි කටයුතු මෙහෙයවීමට නියමිතය.

කෙසේ වෙතත් එළැඹෙන මැයි 20 වන දා පැවැත්වෙන ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය සඳහා මෙවර ඉදිරිපත් වන කේ. මතිවානන් හා නිශාන්ත රණතුංග පාර්ශ්වය විසින් පසුගියදා ක්‍රීඩා අමාත්‍යවරයාට ගොනුකර තිබූ පෙත්්සමක් හේතුවෙන් ක්‍රීඩා ඇමතිවරයා මෙම තීරණය ගෙන ඇති බව ද පැවසේ.

එහිදී කේ. මතිවානන් පාර්ශ්වය පෙත්සමකින් පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලධාරීන්ගේ නිල කාලය පෙබරවාරි 20 වන දා යින් (වසර දෙකක කාලය) අවසන් වී ඇති හෙයින් වත්මන් නිලධාරීන්ට එම තනතුරුවල සේවය කිරීමට නොහැකි බවය.

මේ හේතුවෙන් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් මෙම කරුණ පිළිබඳව ඔවුන් දරන මතය පිළිබඳව විමසා බැලීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමුකර තිබේ. එහිදී නීතිපති දෙපාර්තමේන්තුවේ නිර්දේශය වී ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව අනුව වත්මන් ක්‍රිකට් ආයතන නිලධාරීන්ගේ සේවා කාලය අවසන් වී ඇති බැවින් ඔවුන්ට තවදුරටත් එම තනතුරුවල නියැළිය නොහැකි බවය.

ඇති වී ඇති තත්ත්වය මත ක්‍රිකට් ආයතන නිලවරණය පැවැත්වෙන තෙක් නව කමිටුවක් පත් කිරීමේ බලය ක්‍රීඩා ඇමතිවරයා සතුව ඇති හෙයින් (ක්‍රිකට් ව්‍යවස්ථාව අනුව) ඇමැතිවරයා මෙම තීරණය ගෙන ඇතැයි සඳහන් ය.

 718 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply