සිංහල හා හින්දු අලුත් අවුරුද්දට ජනතාවට සතොසෙන් සහන මල්ලක්

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් සතොස පාරිභෝගික ජනතාවට සහන මල්ලක් දීමට වෙළෙඳ අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

මෙය වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සංකල්පයක් මත සතොස අලෙවිසල් ජාලය හරහා ක්‍රියාත්මක වන ‘සතොස සහන මල්ල‘‘ ලෙස හැඳින්වේ.

අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය 27ක මිල අඩු කිරීමේ ව්‍යාපෘතිය එලෙසම ක්‍රියාත්මක වන අතර තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 12ක් රුපියල් දහසක මිලට ගැනීමට සතොස සහන මල්ල ඔස්සේ ජනතාවට හැකියාව ලැබේ. රතු කැකුළු, සුදු කැකුළු, නාඩු, සුදු සීනි, රතු පරිප්පු, පාන් පිටි, ලුණු, හාල්මැස්සන්, කෑලි මිරිස්, සෝයා මීට්, තේ කොළ, මුහුණු ආවරණ යන භාණ්ඩ වර්ග මේ සහන මල්ලට ඇතුළත් වේ.

මේ පිළිබඳ මාධ්‍ය හමුවක් ඊයේ (31) වෙළෙඳ අමාත්‍යාංශයේදී පැවැත්වූ අතර එහිදී අදහස් දැක්වූ ඇමැතිවරයා කියා සිටියේ ගෝලීය වසංගත තත්ත්වයක් පැවතියදී වුවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ වත්මන් රජය මහජනතාව සුරක්ෂිත කිරීමටත්, ගෝලීය වශයෙන් ඉහළ යන භාණ්ඩ මිල ගණන් යටතේ වුවද ශ්‍රී ලාංකේය පාරිභෝගික ජනතාවට උපරිම අයුරින් සහන සලසමින් කටයුතු කිරීමටත් සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් නව වසර සමරණ මේ අවස්ථාවේදී ජනතාවට තව දුරටත් සහන දීමට රජයක් වශයෙන් මේ වැඩසටහන ක්‍රියාත්මක කර ඇති බවයි. වෙළෙඳ අමාත්‍යාංශය හා සතොස පිළිබඳ විශ්වාසය පළ කරමින් පාරිභෝගික ජනතාව සතොස හරහා භාණ්ඩ මිලට ගැනීමට කටයුතු කිරීම තුළ මෙවැනි වැඩසටනක් ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබේ. කුමන බාධා එල්ල වුවද ස්වයංපෝෂිත ආර්ථිකයක් කරා රට මෙහෙයවමින් මහජනතාවට සහන සැලසීමට මෙවැනි ක්‍රමවේද සැකසීමටද වත්මන් රජය පසුබට නොවන බව ඇමැතිවරයා මෙහිදී අවධාරණය කර සිටියේය.

 310 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply