පන්නිපිටියේ ට්‍රැෆික් රාලහාමි ඇතුළට – ලොරි රියැදුරු එළියට!

පන්නිපිටිය නගර මධ්‍යයේ දෙනෝ දාහක් දෙනා බලාසිටියදී ලොරි රථ රියැදුරකුට උඩ පැන දෙපයින් පහරදුන් මහරගම පොලිසියේ රථවාහන අංශයේ කොස්තාපල්වරයා ලබන අප්‍රේල් මස 5 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙස නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

ඒ මහරගම පොලිසිය විසින් අදාළ කොස්තාපල්වරයා නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුවය.

එමෙන්ම පහරකෑමට ලක්වූ ටිපර් රථ රියැදුරා ඇප මත මුදා හැර තිබේ.

රිමාන්ඩ් බන්ධනාගාර ගත කළ පොලිස් කොස්තාපල්වරයා ටිපර් රථ රියැදුරාට බිම වැටෙන්නට පහරදී ඉන් අනතුරුව ඔහුගේ සිරුර මතට පනිමින් පහර එල්ල කරන ආකාරය ඊට සුළු මොහොතකට පසු සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වූ අතර එය රට පුරා මහත් ආන්දෝලනයක් ඇති කරලීමට සමත් විය.

සිද්ධිය සැලවූ වහාම මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට නියෝග කළේ වහාම එම සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් අරඹන ලෙසය.

පසුව මේ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට විශේෂ පොලිස් කණ්ඩායමක් පත් කළ අතර ඔවුන්ගේ විමර්ශනයෙන් අනතුරුව අදාළ කොස්තාපල්වරයා අත්අඩංගුවට ගත්තේය. පසුව ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත කොස්තාපල්වරයාගේ සේවයද තහනම් කෙරිණි. 29 වැනිදා උදෑසන අටට පමණ මහරගම පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති මෛත්‍රිපාල මහතා ඇතුළු රථවාහන නිලධාරීන් පිරිසක් මහ මාර්ගයේ රථවාහන රාජකාරියේ යෙදී සිටියදී ටිපර් රථයක් අධික වේගයෙන් පැමිණ ස්ථානාධිපතිවරයාගේ ඇඟේ හැපීමෙන් තුවාල ලැබූ රථවාහන අංශ ස්ථානාධිපතිවරයා වහා කළුබෝවිල රෝහලට ඇතුළත් කළ අතර අදාළ ටිපර් රථ රියැදුරා අදාළ කොස්තාපල්වරයා විසින් අත්අඩංගුවට ගෙන ඇත. 

තම ප්‍රධානියා අනතුරට පත්කිරීම හේතුවෙන් කෝපයට පත්ව සිටි කොස්තාපල්වරයා රියැදුරුගේ නොසැලකිලිමත් ධාවනය පිළිබඳ බැන වැදී ඔහු ඇඳ සිටි ඇඳුමද ඉරා දමමින් රියැදුරාට පහරදී ඇත. එම අවස්ථාවේ ඇද වැටුණු රියැදුරාට නැවත උඩපැන දෙපයින් පහරදීමට කොස්තාපල්වරයා කටයුතු කර ඇත්තේ ඉන් පසුවය.

අදාළ ටිපර් රථ රියැදුරාද රෝහල් ගත කර තිබේ.

සැකකාර කොස්තාපල්වරයා අත්අඩංගුවට ගැනීමෙන් පසු සේවයද තහනම් කරන ලදී. බස්නාහිර පළාත භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ අධීක්ෂණය මත නුගේගොඩ කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි නුවන් අසංක හා ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි වීරසිංහ යන මහත්වරුන්ගේ උපදෙස් මත පරීක්ෂණ සිදුකරති.

 810 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply