අලුත් අවුරුද්දට අඩුවට හාල්දෙන එක මහින්දානන්දගේ හීනයක්?

හැමදාම ආණ්ඩු හැදුවේ, පෙරළුවේ මේ රටේ ව්‍යාපාරික ගොන්න. අපේක්ෂකයෝ දෙන්නටම ජනාධිපතිවරණවල සමානව වියදම් කරන ව්‍යාපාරිකයෝත් අපේ රටේ ඉන්නවා. කොයි ආණ්ඩුව ආවත් දිනුම් ඒ අය. ගෝඨාභය රාජපක්ෂ කියන විනයධර හමුදා නිලධාරියාට පාවෙන ඡන්ද ලක්ෂ 20 ක් විතර දුන්නේ මෙන්න මේ ව්‍යාපාරිකයෝ අල්ලපු ආණ්ඩුව ජනතාව පැත්තට හරවන්න. නැත්නම් හැමදාම වුනේ ජනතාව හෝයිය දාලා, ඡන්ද දීලා ආණ්ඩු හදනවා. හොරු ආණුඩුව අල්ලගන්නවා. හාල් මාෆියාවත් ආණුඩු මාරු කරන ව්‍යාපාරික මාෆියාවේ කොටසක්. වෙළඳපලේ හාල් මිල කියන්නේ ආණ්ඩුව නෙමෙයි. ඩඩ්ලි සිරිසේන, සිරිපාල ගම්ලත් ඇතුළු තුන් හතර දෙනෙක්. ජනාධිපති ගොඨාභය රාජපක්ෂගේ ආණ්ඩුවේ කෘෂිකර්ම ඇමති මහින්දානන්ද මේ මාෆියාවත් එක්ක හැප්පෙනකොට ගොඩක් වෙලාවට හිතුනේ ඒකත් මාධ්‍ය සංදර්ශනයක් කියලා. සතොසට සමූපකාරයට ගිහිල්ලා පෝලිමේ ඉඳලා අඩුවට හාල් අරගෙන කන්න මේ රටේ මිනිස්සු ලෑස්ති නෑ. මෙදා පාර මහ කන්නයේ වී ටිකක් ආණ්ඩුව මිලට ගත්තා. ඒ වී කොටලා සුදු කැකුළු 93 ට, නාඩු 97 ට දෙනවා කියලා ඊයේ පෙරේදා කෘෂිකර්ම ඇමති කිව්වා. දෙන දිනේ විදිහට කිව්වේ අප්‍රේල් පළවෙනිදා. ගොඩක් මිනිස්සු කියන්නේ හාල් මිල දිනයට ගැලපේ කියලා.

මාධ්‍යට කියපු කරුණු ඇතුලේ තවත් එකක් තිබුණා. සියළු සුපිරි වෙළඳසැල් ජාලය ඇතුළු ඕනෑම තැනකින් සහතික මිලට හාල් ගන්න පුළුවන් කියලා ඇමති මහින්දානන්ද කිව්වා. හාල් මාෆියාවට ජනාධිපතිගෙත් ආශිර්වාදයෙන් මහින්දානන්ද වගේ තරුණ ඇමතිකෙනෙක් ගහන එක ජනතාව පැත්තෙන් හොඳ දෙයක්. හැමදාම ආණ්ඩුව හොරු අල්ලගන්නවා වෙනුවට ආණ්ඩුව හොරු අල්ලන වැඩේ කරනවා කියලා මෙදාපාර හිතෙනවා. ඇමති මහින්දානන්දගේ හීනය හැබෑ වුනොත් පවුම් ගානට නැතුව කිලෝ ගානට හාල් කන්න කෝටි දෙකකට වැඩි මිනිස්සුන්ට අලුත් අවුරුද්දේ පුළුවන් වේවි. ඒ නිසා කෘෂිකර්ම ඇමතිගේ 93 ට 97 ට හාල් දෙන හීනය හැබෑ වෙන්න කියලා ජනතාව පැත්තෙන් ප්‍රාර්ථනා කරන ගමන් කෘෂිකර්ම ඇමති මහින්දානන්ද මහත්තයටත් දෙයක් කියන්න කැමතියි. හාල් මාෆියාව එක්ක මහ සටනක් දෙද්දී දොන් ජුවන් ධර්මපාලලා ඔය ආණ්ඩුව ඇතුලෙත් ඉන්නවා කියලා මතකයේම තියාගන්න.

 668 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1

Leave a Reply