තෙවැනි බැඳුම්කර සිද්ධියට රවි 31 දා තෙක් රිමාන්ඩ්

තෙවැනි බැඳුම්කර වෙන්දේසියෙන් රජයට පාඩු කළේ යැයි චෝදනා ලැබ සිටන හිටපු ඇමැති රවි කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන්ට ඇප නියම කිරීම හෝ නොකිරීම පිළිබඳ නීතිපතිවරයාගේ ස්ථාවරය ලබන 31 දින ඉදිරිපත් කරන ලෙසට දන්වා සිටි කොළඹ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල විත්තිකරුවන් එදින තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට ඊයේ (26) නියෝග කළේය.2016 මාර්තු 31 දින පැවති මහ බැංකු බැඳුම්කර තෙවැනි වෙන්දේසියෙන් රජයට රුපියල් බිලියන 15ක අලාභයක් සිදු කරමින් පොදු දේපළ පනත හා දණ්ඩ නීති සංග්‍රහය ප්‍රකාරව දඬුවම් ලැබිය යුතු වරදවල් කිරීමේ චෝදනා 24 යටතේ විත්තිකරුවන් පසුගිය 24 දින රක්ෂිත බන්ධනාගාර ගත කළ අතර, ඊයේ දින ඇප ඉල්ලීම පිළිබඳ කරුණු සලකා බැලිණි.

විත්තිකරුවන්ට ඇප දීම පිළිබඳ සිය දැඩි විරෝධය ඉදිරිපත් කරන බව නීතිපතිවරයා වෙනුවෙන් කරුණු දැක්වූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය අපරාධ නඩු විධාන සංග්‍රහයේ 450 වැනි වගන්තියේ (6) උප වගන්තිය අනුව නීතිපතිවරයාගේ අනුමැතියකින් තොරව විත්තිකරුවන්ට ඇප නියම කළ නොහැකි බව පැවසුවාය.නීතිපතිවරයාගේ විරෝධය ඉවත දැමූ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව විත්තිකරුවකුට ඇප නියම කිරීමේ අභිමතානුසාරි බලය අධිකරණයට ඇති බව සඳහන් කරමින් ඊයේ නියෝගයක් නිකුත් කළේය.

මහාධිකරණ විනිසුරු අමල් රණරාජා, මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ හා මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදිගේ මහත්වරු මේ නියෝගය කළහ. අධිකරණයේ නියෝගය පරිදි විත්තිකාර පාර්ශ්වයේ නීතිඥවරුන් ඇප පනත ප්‍රකාරව සුවිශේෂි හේතු දක්වමින් විත්තිකරුවන්ට ඇප දෙන ලෙස ඉල්ලා සිටියේය.

දෙවැනි විත්තිකාර හිටපු ඇමැති රවි කරුණානායක මහතා හෘද රෝගියකු බවත් ස්ටෙත් පහක් බද්ධ කර ඇති ඔහුට ඇප දෙන ලෙසත් කිසි ලෙසක අධිකරණය මඟ නොහරින බවත් ජනාධිපති නීතිඥ ෆායිස් මුස්තාපා මහතා කරුණු දැක්වීය.

සෙසු විත්තිකරුවන්ට ජනාධිපති නීතිඥ අනිල්ද සිල්වා, ජනාධිපති නීතිඥ ගාමිණි මාරපන, ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහත්වරු කරුණු දැක්වූහ.

 621 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply