මෝර වරල් ජාවාරමක් රේගුවේදී මාට්ටු (PHOTOS)

අපනයන සීමා කර ඇති, මෝර වරල් තොගයක් බලපත්‍ර නොමැතිව හොංකොං වෙත නීති විරෝධී ලෙස අපනයනය සදහා කොළඹ වරායේ රේගු අපනයන පහසුකම් සැළසීමේ මධ්‍යස්ථානය වෙත ගෙනැවිත් තිබියදී ශ්‍රී ලංකා රේගුවේ ජෛව විවිධත්ව, සංස්කෘතික සහ ජාතික උරුමයන් ආරක්ෂා කිරීමේ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (22) රාත්‍රී අත්අඩංගුවට ගෙන ඇති බව රේගු අධ්‍යක්ෂ ජනරාල්, විශ්‍රාමික මේජර් ජනරාල් විජිත රවිප්‍රිය පවසයි.

ජාත්‍යන්තර වෙළදාම සදහා සීමා කර ඇති , ආරක්ෂිත රතු විශේෂ ලැයිස්තුවට අයත්, රුපියල් ලක්ෂ 20 ක් පමණ වටිනා , හීන් මී මෝරා සහ උදළු මෝරා යන මෝර විශේෂ දෙකට අයත් වියලන ලද මෝර වරළ් කිලෝ ග්රැම් 250 ක් පමණ මෙම අඩි 20 ක් දිගැති බහාලුම තුළ තිබී ඇත.

මෙම වරල් තොගය ලබා ගැනීමට මෙම මෝර මත්ස්‍යයන් 300 කට අධික ප්‍රමාණයක් මරා දමන්නට ඇතැයි රේගුව ගනන් බලා තිබේ.

ශ්‍රී ලංකාවේ ධීවර සහ ජලජ සම්පත් පනත යටතේ, 2017.06.15 දින නිකුත් කර ඇති  2023/15 දරන ගැසට් නිවේදනය අනුව මෙම මත්ස්‍යයන් හෝ කොටස අපනයන කිරීම සදහා කල් ඇතිව අපනයන බලපත්‍ර ලබා ගත යුතුය.

එසේම තර්ජනයට ලක් වූ වන ජීවීන්ගේ ජාත්‍යන්තර වෙළදාම සදහා වූ සම්මුතිය යටතේ ද මෙම මත්ස්‍යයන් අපනයනය සදහා බලපත්‍ර ලබා ගත යුතුය.

මෙම මෝර වරල් තොගය මීගමුව සහ පුත්තලම, කල්පිටිය ප්‍රදේශයෙන් අපනයනය සදහා සොයාගෙන තිබුණි .

මෙම මෝර වරල් තොගය මුලින්ම හොංකොං වෙත ගෙන යාමෙන් පසුව, තවදුරටත් ඒවා  පිරිසිදු කර, යළිත් වේළීමට ලක් කර, තම්බා, සම ඉවත් කර අගය එකතු කර අවසාන, ප්‍රධාන වෙළෙඳ පොළ වන චීනය වෙත රැගෙන යන රේගුව සිදු කළ මූලික විමර්ශන වලදී අනාවරණය කර ගෙන තිබුණි.

එහිදී මෙම මෝර වරල්  කිලෝ ග්රැම් 01 ක් ඇමෙරිකානු ඩොලර් 400 ක් වැනි ඉහළ මිලකට අලෙවි වන බවට තොරතුරු වැඩිදුරටත් රේගුව සොයාගෙන තිබේ.

එම චීන ජාතිකයන් මෙම මෝර වරල් භාවිතා කරමින් සුඛෝපභෝගී ආහාර සකස් කිරීමට මෙන්ම , විශේෂයෙන්ම වාජීකරණ ඖෂධයක් ලෙසද ඔවුන්  භාවිතා කරයි.

එහිදී මෙම චීන අවන්හල් තුළ  මෝර වරල් යෙදූ සුප් බදුනක් ඇමෙරිකානු ඩොලර් 100 කට අධික මිලකට අලෙවි වන බව ද පැවසේ.

ලෝකයේ බොහෝ රටවල මෙම පසුබිම නිසා මෝර මත්ස්‍යයන් ඇල්ලීම තහනම් කර ඇති නිසා , එම රටවල ධීවරයින් අල්ලා ගන්නා ලද මෝරුන්ගේ වරල් කපා ගැනීමෙන් පසුව, යළිත් එම මෝරුන් මුහුදට දැමීම සිදු කරති.

මේ වනවිට මෙම මෝර වරල් තොගය අපනයනය සදහා රැගෙන ආ මීගමුව ප්‍රදේශයේ අපනයන සමාගමේ අධ්‍යක්ෂවරයෙකු රේගුව හමුවට කැදවා ප්‍රකාශයක් ගැනීමට නියමිතය.

රේගු අධ්‍යක්ෂ ජනරාල් , විශ්‍රාමික මේජර් ජනරාල් විජිත රවිප්‍රිය මහතාගේ උපදෙස් සහ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා රේගුවේ ජෛව විවිධත්ව , සංස්කෘතික සහ ජාතික උරුමයන් ආරක්ෂා කිරීමේ ඒකකයේ නිලධාරීන් පිරිසක් මෙම සිදුවීම පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිති.

 789 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply