දකුණු ආසියාවේ දැවැන්තම ස්වේච්ඡා තරුණ වැඩසටහන “Volunteer SL” ආරම්භ වෙයි

දකුණු ආසියාවේ ක්‍රියාකාරීම රට බවට පත් වීම අරමුණු කර ගනිමින් දකුණු ආසියාවේ දැවැන්තම ස්වේච්ඡා තරුණ වැඩසටහන ලෙස “Volunteer SL” ආරම්භ වෙයි.  “තමන්ගේ අයිතිවාසිකම් ලබා ගන්නවා සේම යුතුකම් ඉටු කිරීමටත් තරුණ පරපුර යොමු වී කටයුතු කළ යුතුයි” යන්න තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කරන ලද්දේ ශ්‍රී ලංකාවේ විශාලතම තරුණ ස්වේච්ඡා සංවිධානය පිහිටුවීම පිළිබඳ හඳුන්වා දීමේ වැඩසටහනට ඊයේ (22) දින එක්වෙමිනි.  

මෙම වැඩසටහන පිළිබඳ වැඩිදුරටත් හඳුන්වා දුන් අමාත්‍යවරයා, ස්වේච්ඡාවෙන් ගමට,රටට, සමාජයට වැඩකරන සහයෝගය ලබාදෙන පිරිස් ඒකරාශී කරගැනීමත් ඔවුන්ට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීමත් මෙම වැඩසටහනේ අරමුණ වෙනවා. එදාසිටම අපේ ජන ජීවිතයේ එකිනෙකාට උදව් කරනවා කියන කාරණය සංස්කෘතිකමය වශයෙන් තිබුණු කාරණයක්. අපටම ආවේණික වූ එම කාරණය නැවත සමාජගත කිරීමයි අමාත්‍යංශයක් විදියට මේ ක්‍රියාත්මක  කරන්නේ. ඒ සඳහායි හැම මසකම අවසාන සෙනසුරාදා ස්වේච්ඡාවෙන් වැඩකරන දිනය ලෙස නම් කර (Volunteer SLDay) ස්වේච්ඡාවෙන් වැඩ කිරීමටයි උත්සහකරන්නේ. එදා පටන් අපේ ඉතිහාසය ගත්තාම ශ්‍රමදානය කියන සංකල්පය අපේ ගමේ රටේ අපිට ඉතාම සමීප කාරණයක්.

එවගේම ඉතාමත් සුඵ පිරිසක් තමන්ගේ වගකීම ලෙස සලකා හෝ ඔවුන්ගේ මානසික සුවය උදෙසා හෝ ස්වෙච්ඡාවෙන් සමාජය වෙනුවෙන් යම්කිසිදෙයක් කරන්න උත්සහ කරනවා.  අපිට අමාත්‍යංශය විදියට මේ සියලුදෙනාම ඒකරාශි කරන්න පුඵවන් මේ වැඩසටහන හරහා. ඒ වගේම මේ රට තුළ නැවත වතාවක් තමන්ගේ සමාජ මෙහෙවර පිළිබඳ කතා කරන්න අවකාශය සැලසෙනවා. අපි හැමදාම අයිතීන් ගැන කතා කරනවා, යුතුකම ගැන කතා කරනවා අඩුයි.  තමන්ගේ අයිතිය වගේම තමන්ගේ යුතුකම ගැන කතා කරන තරුණ පරම්පරාවක් අපි මේ රට තුළ බිහි කළ යුතුයි.  

එක්පැත්තකින් තරුණ පිරිස විදියට ස්වේච්ඡාවෙන් ගමට සමාජයට රටට තමන් ජීවත් වන පරිසරයට ස්වේච්ඡාවෙන් දායකත්වය ලබාදෙන්න අපි උත්සහ කරනවා. ඒ වගේම අනෙක් පැත්තෙන් දෙමව්පියන්ටත් තමන්ගේ දරුවෝ එක්ක ස්වේච්ඡාවෙන් තමන්ගේ ගමට රටට ඵලදායි සේවයක් ඉටුකරගන්න පුඵවන් වාතාවරණයක් නිර්මාණය කරලා දෙන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. මේ වනවිටත් ජාතික යොවුන් සේනාංකයත්, ජාතික තරුණ සේවා සභාවත් ඇතුඵ අනෙකුත් ස්වේච්ඡා සංවිධාන රාශියක් අපිත් එක්ක අත්වැල් බැඳගෙන තියෙනවා. මේ සියලුදෙනා අපිත් එක්ක අත්වැල් බැඳගන්නවා කියන එකෙන් අදහස් වෙන්නේ මේ සියල්ලන්ම එක් අරමුණක් වෙනුවෙන් යනවා කියන එක මිසක් අපි සංවිධානයක් වෙනවා කියන එක නෙවෙයි. ස්වේච්ඡාවෙන් කෙරෙන වැඩ සඳහා අවකාශය නිර්මාණය කිරීමයි අප කරන්නේ.  ලංකාවේ පළවු වතාවට සියලුම රටේ ජනතාවත් එක්ක ස්වේච්ඡාවෙන් තමන්ගේ රටට සමාජයට මෙහෙවරක් කරන්න වෙන් වු දිනයක් විදියට හැම මාසයකම අවසාන සෙනසුරාදා දිනය වෙන් කරගෙන ඒ සඳහා ක්‍රියාත්මකවෙන්න මම ආරාධනා කරනවා. ඒ අනුව මේ මාසයේ 27 වන සෙනසුරාදා පළවෙනි ස්වෙච්ඡා දිනය (Volunteer SLDay) තුළ ගමට සමාජයට රටට ආදරය කරන සියලුදෙනාට එකට එක්ව වැඩ කිරීමට ආරාධනා කරනවා.  

පාර සුද්ද කරන්න, පල්ලිය, පන්සල, කෝවිල පිරිසිදු කරන්න ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙන විශාල පිරිසක් ඉන්නවා. ඒ සියලුදොනටම අපි ආරාධනා කරනවා. තව අඩියක් ඉදිරියට තබමින් හැම මාසෙම අවසාන සෙනසුරාදා ස්වේච්ඡාවෙන් වැඩ කරන දිනය විදියට Volunteer SLDay අපේ අයිතිය වගේම අපේ යුතුකම පිළිබඳවත් අපි කතා කරමු. ඒ සඳහා අපි මැදිහත් වෙමු කියන ගෞරවනීය ආරාධනය රටේ ජනතාව වෙත කරනවා.  ඒත් එක්කම අද මේ පැමිණ සිටින ස්වේච්ඡා සංවිධාන සමඟම මාධ්‍යවේදී මහත්ම මහත්මීන් ද එකතු කරගෙන දකුණු ආසියාවේ දැවැන්තම ස්වේච්ඡා වැඩපිළිවෙල විදියට මෙම Volunteer SL වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙනවා.  මෙම වැඩසටහන ආරම්භ කරලා වසරක් සපිරෙන අවසානයේ අප්‍රෙල් මැයි මාසවල ස්වේච්ඡාවෙන් වැඩ කටයුතු කරන්නන් ඇගයීම සඳහා International Volunteer Event එකක් සංවිධානය කර Award Ceremony එකක් සංවිධානය කරනවා.ඒ තුළ හඳුනාගත් ක්ෂේත්‍රයන්හි ස්වේඡාවෙන් වැඩ කළ අය ඇගයීම සඳහා විශේෂ සම්මාන උළෙලක් පැවැත්වීමට කටයුතු කරනවා.  

එහි ආරම්භය දකුණු ආසියාව කේන්ද්‍රකරගත් සම්මාන උළෙලක් ලෙස එය පවත්වන්න කටයුතු කරනවා. ලබන අවුරුද්දේ අප්‍රේල් මැයි මාසවල ඒ සම්මාන උළෙල පවත්වන්න අපි බලාපොරොත්තු වෙනවා.ස්වේච්ඡාවෙන් වැඩ කරන සියලු දෙනාට මෙම සම්මාන උළෙලට අයදුම්පත් කැඳවන විට අයදුම් කළ හැකියි.  ස්වේච්ඡාවෙන් වැඩ කරන ජාත්‍යන්තර දිනයක් ලෙස මෙය පවත්වන්නත් ඊට සමගාමීව ලංකාව කේන්ද්‍රකරගෙන සම්මන්ත්‍රණයක් පැවැත්වීමටත් අපි බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම ඒ සඳහා අප අමාත්‍යාංශයත් මැදිහත් වෙනවා. ඒ වගේම ස්වේච්ඡා සංවිධාන බොහෝමයක් සම්බන්ධ කරගෙන අවශ්‍ය දත්ත එකතු කරගැනීමේ වැඩපිළිවෙල කරගෙන යනවා. අමාත්‍යාංශයෙන් නම් කළ කණ්ඩායම හරහා මෙම ස්වේච්ඡාවෙන් වැඩ කරන අයගේ දත්ත එකතු කරනවා.  

මෙම වැඩපිළිවෙල සඳහා මුදලක් ලබාදීමට කටයුතු නොකරන බවත්, යම් කාර්යයක් සිදු කිරීමේ දී ඒ සඳහා රාජ්‍ය අනුග්‍රහය හෝ වෙනත් සහයෝගයක් අවශ්‍යනම් එය සම්බන්ධීකරණය කිරීමට අමාත්‍යංශය ඇතුළු ආයතන ඉදිරිපත් වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.  මෙම දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා ජාතික යොවුන් සේනාංකයේ සභාපති කර්නල් දර්ශන රත්නායක, ජාතික තරුණ සේවා සභාවේ සභාපති සභාපති/ අධ්‍යක්ෂ ජෙනරාල් තෙෂාර ජයසිංහ, ස්වේච්ඡා සංවිධානය නියෝජිතයින්, අමාත්‍යංශ නිලධාරීන් රැසක් සහභාගී වී සිටියහ. මෙම වැඩසටහනට Facebook, twitter, Instagramගිණුම් හරහා ඕනෑම අයෙක්ට සම්බන්ධ විය හැකියි.

දිණමින

 627 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply