රාජිත සහ චතුරගෙන් පැය 5ක් ප‍්‍රශ්න කරයි

මාධ්‍යවේදියකු පැහැරගෙන ගිය බවට ව්‍යාජ සිද්ධියක් නිර්මාණය කර රජය අපහසුතාවට පත් කිරීමට උත්සාහ කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ඇමැති රාජිත සේනාරත්න සහ ඔහුගේ පුත් හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර චතුර සේනාරත්න යන අයගෙන් කොළඹ අපරාධ කොට්ඨාසය ඊයේ (22) පැය හතරක් තිස්සේ ප‍්‍රශ්නකර ප‍්‍රකාශ සටහන් කරගෙන ඇත.

ඊයේ දහවල් 11.30ට පමණ කොළඹ අපරාධ කොට්ඨාසය හමුවේ හිටපු ඇමැති රාජිත සේනාරත්න සහ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර චතුර සේනාරත්න යන දෙදෙනා පෙනී සිටි අතර සවස 4.30 පමණ වනතුරු ප‍්‍රශ්නකර ප‍්‍රකාශ ලබාගෙන තිබිණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප‍්‍රකාශ ලබා ගැනීමට මීට පෙර අවස්ථා දෙකකදීම කොළඹ අපරාධ කොට්ඨාසය හමුවේ පෙනීසිටින ලෙස හිටපු අමාත්‍යවරයාට සහ ඔහුගේ පුත‍්‍රයාට එම කොට්ඨාසය මගින් දැනුම් දී තිබිණි.

නිදහස් මාධ්‍යවේදියකු වන සුජීව ගමගේ මහතා පොලිසිය වෙත ඉකුත් මාර්තු මස 10 වැනිදා පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් කියා සිටියේ කිසියම් පිරිසක් විසින් තමා පැහැරගෙන ගොස් පහරදී වධ හිංසා කළ බවයි.

එහෙත් පොලිසිය කළ විමර්ශනවලින් අනාවරණය වූයේ මෙම පැමිණිල්ල ව්‍යාජ එකක් බවයි. පොලිසිය කළ පරීක්‍ෂණවලදී හෙළිවී තිබුණේ මෙම නිදහස් මධ්‍යවේදියා පැහැරගැනීම සිදුවූ බව කියන දින හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර චතුර සේනාරත්නගේ කාර්යාලයට ගොස් ඇති බවයි.

එහිදී මොහු හිටපු ඇමැති රාජිත සේනාරත්න සහ ඔහුගේ පුත‍්‍රයා චතුර සේනාරත්න හමුවී ඇති බවද විමර්ශනවලින් හෙළි විය.

මෙම නිදහස් මාධ්‍යවේදියා තමන් නාඳුනන පිරිසක් විසින් පැහැරගෙන ගොස් පහරදුන් බව කියමින් රෝහල් ගතවී ඇත්තේ චතුර සේනාරත්නගේ කාර්යාලයේ සිට බවද පොලිසිය සොයාගෙන ඇත.

හිටපු ඇමැතිවරයාගෙන් සහ ඔහුගේ පුත‍්‍රයාගෙන් පොලිසිය ප‍්‍රශ්න කිරීමට කටයුතුකර ඇත්තේ මේ බව අනාවරණය වීමෙන් පසුවය.

 748 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply