රාජපක්‍ෂ පවුල තුළ අර්බූද ඇති කරන්න කිසිවකුට බැහැ – ජනපති කියයි

රාජපක්ෂ පවුල තුළ අර්බුද ඇති කිරීම සඳහා විවිධ පුද්ගලයන් උත්සාහ දරමින් සිටියත් රාජපක්ෂ පවුල යනු එසේ අර්බුද ඇති කළ හැකි පවුලක් නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
 
 ජනාධිපතිවරයා මේ බව පැවසුවේ පසුගිය සිකුරාදා (12) පැවැති ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් සභා සංසදයේ රැස්වීමක් අමතමිනි. එහිදී ජනපතිවරයා මෙසේද කීය.
 
 ‘‘මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අපේ රටේ පමණක් නෙවෙයි, මං හිතන්නෙ ආසියාවේම ගත්තොත් ඉන්න ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අපි කවුරුත් දන්නවා. එතුමාගේ පළපුරුද්ද, දේශපාලන පරිණතභාවය, දැනුම, එතුමාගේ නායකත්වය ගැන මං හිතන්නෙ කිසිම නායකයකුට කිට්ටු වෙන්නට පුළුවන්කමක් නෑ. එවැනි නායකත්වයක් මේ පක්ෂයට නායකත්වය දෙනකොට ඒක රටක් ගෙනියන්න මට විශාල සහනයක් කියලා මට හිතෙනවා. ඒ එක්කම අපි ජයග‍්‍රහණය කිරීමේදී ප‍්‍රධානතම සාධකය වුණේ මහින්ද රාජපක්ෂ කියන චරිතය.
 
 ඒ වගේම බැසිල් රාජපක්ෂ මැතිතුමා පක්ෂයක් නිර්මාණය කරලා, රජයක් බිහි කරන්නට, ජයග‍්‍රහණයක් ඇති කරන්නට මේ රටේ වාතාවරණය සකස් කිරීම පිළිබඳව අවිවාදයෙන් පිළිගත යුතු කාරණයක්. මෙවැනි නායකයන් දෙදෙනෙක් සමග රජයක් ඉදිරියට ගෙනයන්නට මට ඉතාමත්ම පහසුයි. ඉතිං මං ඒ නායකත්ව දෙකම රජයක් ඉදිරියට ගෙනයෑමේදී මා බලාපොරොත්තු වෙනවා. ඒක ඒ ආකාරයෙන්ම සිදුවෙනවා.
 
 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කොච්චර දේශපාලන පරිණතභාවයෙන් යුක්තද කියන්නේ නම් මට කිසිම අවස්ථාවකදී කිසිම බලපෑමක් කරලා නෑ කිසිම පත්වීමකදී හෝ ක‍්‍රියාවකදී. මම හොඳටම දන්නවා එතුමා කීපවරක්ම කීපදෙනකුටම කියලා තියෙනවා ගෝඨාට මේක කරගෙන යන්න දෙන්න ඕනෙ කියන කතාව. ඒ වගේම බැසිල් රාජපක්ෂ මැතිතුමාත් මට කිසිම අවස්ථාවකදී කිසිම බලපෑමක් කරලා නෑ කිසිම පත්වීමකට හෝ කිසිම දේකට. විශේෂයෙන්ම අවුරුදු 60කටත් ආසන්න කාලයක් දේශපාලනය කරපු නායකයෙක් වෙනකොට ඔහු වටා විශාල පිරිසක් එකතු වෙනවා. මම දන්නවා විජේරාමෙ දොරක් අරින්න බෑ, ඒකෙ පිරිලා සෙනඟ. ඒ උදේ පාන්දර. මොකද එතුමා අවුරුදු ගාණක් දේශපාලනය කරපු පුද්ගලයෙක්. විශාල කොටසක් එතුමාව දන්නවා මේ රටේ. ඒ අය විශාල බලාපොරොත්තු ඇතුව එතුමාව හම්බුවෙන්න එන්නෙ. ඉතිං එතුමාගේ අපහසුතාවයත් මම හොඳාකාරවම දන්නවා.
 
 නමුත් කිසිම විටෙක කිසිම අර්බුදයක් නැතිව මේ රට ගෙනියනවා කියන එක මම නිර්භයව කියනවා. මොකද විවිධ අය අර්බුද හදන්නට හදනවා. එහෙම අර්බුද හදන්නට පුළුවන් පවුලක් නෙවෙයි අපි’’.

දිවයින

 982 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply