විජයට වෙඩි තිබ්බේ කවුද? වසර 33 කට පසු හෙළිවන රහස

Spread the love

ඇමරිකානු එක්සත් ජනපද තානාපති කාර්යාලයේ නිලධාරියෙක් සමඟ කලින් සූදානම් කරගත් දිවා භෝජන සංග‍්‍රහයක් විජයට තිබුණි. ඒ සඳහා සූදානම් වූ විජය නිවසින් එළියට බසින්නට ලෑහැස්ති විය. උඩු මහලේ සිට පහළට බසින විජයට දැකගැනීමට හැකිවූයේ, සිය දරු දෙදෙනා සහ බිරිය චන්ද්‍රිකා සමඟ නිවසේ සේවක සේවිකාවන් එහි සිටින ආකාරයය.


මහජන පක්ෂයේ ආධාරකරුවකු වූ උපාලි ඉලංගරත්න ද විජය හමුවීම සඳහා පහත මාලයේ බලාපොරොත්තු සහගත දෙනෙතින් රැඳී සිටියේය. විජයගේ මාර්ගයෙන් උපාලිට විදේශ රැකියාවක් සූදානම් වී තිබූ අතර, ඒ බව දන්වා විදේශ ගතවීම, උපාලිගේ විජය හමුවීමේ අරමුණ විය. රැකියා කාලය සම්පූර්ණ කොට යළි කවදා ශ‍්‍රී ලංකාවට පැමිණෙන්දැයි විජය මෙහිදී උපාලිගෙන් විමසා සිටියේය.

තමා තව වසර තුනකින් පමණ මෙරටට පැමිණෙන බව උපාලි සඳහන් කරනවාත් සමගම ”අයියෝ… උපාලි ඔයා අවුරුදු තුනකින් ආයෙත් ලංකාවට එනකොට, අපි මැරිලා මැරිච්ච තැන්වල ගසුත් පැළවෙලා තියෙයි…’’ යනුවෙන් සඳහන් කළ විජය සිය දියණිය විසින් දිගින් දිගටම පෙන්වමින් සිටින, ඇය විසින් ඇඳි චිත‍්‍ර සහිත පොත ද බලමින් එළිමහනට පිවිසියේය. දරු දෙදෙනා අසල පිහිටි විජයගේ මවගේ නිවසට ඇරලවීම ද විජයගේ ගමනේ එක් අරමුණක් විය. ගේට්ටුව අසලට පැමිණි විජය, ටැක්සි රියැදුරු හේමපාල ප‍්‍රනාන්දු සහ ආරක්ෂක නියාමක පතිරාජ ඉලගරත්න සමඟ කතා බහ කරන්නට විය. ඒ සමගම විජය සතු වූ, 27 ශ‍්‍රී 7227 අංකය දරන ඩැට්සන් පිකප් රථය, නිවසේ පැත්තකින් පිහිටා තිබූ පිවිසුමේ සිට, බොරළු පාර දිගේ මහ පාරට ගමන් කරමින් තිබුණි. වාහනය පදවමින් සිටියේ දයාරත්නය. සේවය නිමවා යමින් සිටි විජයගේ ආරක්ෂක නියාමකයකු වූ ලලිත් සහ සූදානම් වෙමින් තිබූ නව පෙරමුණේ සමුළුව සඳහා කලා නිර්මාණයෙන් දායක වෙමින් සිටි රත්ගම උපාලි ද වාහනය තුළ සිටියෝය. ප‍්‍රධාන මාර්ගය අසල විජය පිරිසක් සමඟ කතා කරමින් සිටිනු දුටු, වාහනයේ ගමන් ගත් පිරිස ද වාහනය නවතා ඉන් බැස විජය සමග කතා බහ කිරීමේ අරමුණෙන් ඔහු සිටි දෙසට පැමිණෙමින් සිටියෝය.

වාහනයේ රැඳී සිටි රියැදුරු දයාරත්නට දැකගත හැකි වූයේ, හෙල්මට් පැළඳ නොසිටි දෙදෙනකු සී. ඞී. 200 වර්ගයේ රතු පැහැති මෝටර් සයිකලයකින් පොල්හේන්ගොඩ පැත්තේ සිට විජයගේ නිවසට දෙසට පැමිණෙන අන්දමය.

මිනීමරුවා උඩ පැන පැන මුහුණටම වෙඩි තබයි…

පෙබරවාරි 16 වැනිදා මහා ශිව රාත‍්‍රි දිනය වූ හෙයින් නිවාඩු දිනයක් විය. පොල්හේන්ගොඩ පාරේ වෙනදාට දකින්නට ලැබෙන වාහන තදබදය එදා නොතිබුණි. නාඳුනන බයිසිකලය විජය දෙසට හැරෙනවාත් සමඟම පසු පස අසුනේ සිටි පුද්ගලයා විසින් ධාවනය වන බයිසිකලයේ සිටම විජයට වෙඩි තබන්නට විය. ධාවනය වන මෝටර් සයිකලයෙන් පැන, දිගින් දිගටම විජයට වෙඩි තබන්නට ප‍්‍රහාරකයා සමත් විය. වෙඩිපහරවල් විජයගේ ශරීරයේ පිටුපස ප‍්‍රදේශයට වැදෙන්නට පටන් ගත්තේය. අනපේක්ෂිත වෙඩි වරුෂාව පතිත වෙනවාත් සමඟම විජය කුමාරතුංග මුනින් අතට ඇද වැටුණේය. ඇද වැටුණු විජය ආසන්නයට පැමිණි ඝාතකයා, රටක් මනමත් කළ, විජයගේ මුහුණට ළංවී, වෙඩි තබන්නට පටන් ගත්තේය. වෙඩි ප‍්‍රහාරය සමඟම, විජයගේ සිරුරෙන් විදින ලද රුධිර ධාරා, ඝාතකයාගේ තුවක්කුවේ කටට ද විසිවී ගියේය. විජයගේ හිසෙන් සහ මුහුණෙන් රුධිරය වෑස්සෙන්නට පටන් ගත්තේය. අසල සිටි රත්ගම උපාලි ද වෙඩි ප‍්‍රහාරයට ලක්විය. රියැදුරු අසුනේ වාඩිවී සිටි දයාරත්න මේ සියල්ල දෙස වික්ෂිප්තව බලා සිටියේය. ඇසිල්ලකින් ඔහු වාඩිලා ගෙන සිටි පිකප් රථයට ද වෙඩි ප‍්‍රහාරයක් එල්ල වෙන්නට පටන් ගත්තේය. එම ප‍්‍රහාරය කැබ් රථය සිදුරු කළා මිස දයාරත්නට හානියක් නොකළේය.

ප‍්‍රහාරය නිමා කළ ඝාතකයා, විජය අසලම වැටී තිබූ ඔහුගේ ලියකියවිලි සහිත ගොනුව පරීක්ෂා කළේය. අනතුරුව ප‍්‍රධාන මාර්ගය දෙසට ඇවිද ගිය ඔහු තමා සමඟ පැමිණි සගයා ‘යූ’ හැරවුමක් ගෙන මෝටර් සයිකලයෙන් පැමිණෙනවාත් සමඟම එයට නැඟ ගත්තේය. නාරාහේන්පිට සිට පොල්හේන්ගොඩ දෙසට ගමන් ගන්නා බස්රථයක් මේ අවස්ථාවේදී බයිසිකලයට බාධාවක් වූයේ, ඇති වී තිබූ තදබදය නිසාය. සිය ජීවිත කාලයේ පමණක් නොව සංසාරය පුරාම මතකයේ රැඳෙන දසුනක් බස්රථයේ එක් පැත්තක සිටි පිරිස දකින්නට වූහ. පැන යමින් සිටි ඝාතකයා, තමාට බාධාවක් වූ බස්රථය අසලදී යළිත් බැස ගත්තේය. රථයේ රියැදුරු වෙත ගිය ඝාතකයා, සිද්ධිය පිළිබඳ කිසිවක් හෙළි නොකරන ලෙස ඔහුට සහ සිද්ධිය දුටු ඉදිරි පෙළ වාඩිවී සිටි සියලූ දෙනාට තර්ජනය කළේය. බස්රථයේ රියැදුරු අසුනට යාබදව අසුන්ගෙන සිටි නිහාල් කොඩිතුවක්කු, වෙඩි තැබීමේ සිද්ධිය හොඳින්ම දුටු අතර, තර්ජනය කිරීම පිණිස ඝාතකයා සහ සගයා බස්රථය අසලට පැමිණීමත් සමඟ ඔවුන් දෙදෙනාගේ මුහුණු ද හොඳින්ම දැක ගත්තේය.

බයිසිකලයට නැඟුනු ඝාතකයන් පොල්හේන්ගොඩ හන්දිය දෙසට පලා යන ලද්දේ, සිද්ධිය ඇසින් දුටුවන් බියට පත්කිරීමට සහ තමන් පසුපස ලූහුබැඳ ඒම නවත්වාලනු පිණිස අහසට වෙඩි තබමිනි.

එම අවස්ථාවේ විජයගේ රියැදුරකු වූ විමලරත්න එදිරිතිලක සිය කාමරයට වී කල් ගතකරමින් සිටියේය. එවකට වයස අවුරුදු 21 ක් වූ ඔහු, එදා දිනය පිළිබඳව පසුකාලයකදී කියා තිබුණේ මෙසේය.

”මම හිටියේ කාමරයේ… මට වාහනයක ශබ්දයක් ඇහුනා. මහත්තයා එන්නට ඇතැයි සිතා කාමරයෙන් එළියට ඒමට සූදානම් වනවාත් සමඟම, රතිඤ්ඤා පුපුරන ශබ්දයක් ඇසුණා. මම ඒ ගැන වැඩි තැකීමක් කළේ නෑ. මොකද අසල නිවසක මංගල උත්සවයක් තිබුණා. මනාල ජෝඩුව පිටත්වෙනවා ඇතැයි සිතමින් මම ගෙයි පිටුපස සිට ඉදිරිපසට ඒමට හැරෙනවාත් සමඟම, දයාරත්න කලබලයෙන් ඉදිරියට දුවගෙන ආවා…, ”මහත්තයට වෙඩි තිබ්බා…. මහත්තයට වෙඩි තිබ්බා.,’’ දයාරත්න කෑගසමින් නිවස පිටුපසට දිව යද්දී එදිරි නිවස ඉදිරිපිටට දිව ආවේය., අයියෝ සර්… අයියෝ සර්, කෑගසමින් පැමිණ මම විජය සර් ඔසවා ගත්තා. මට එකපාරටම මතක් වූයේ රෝහලයි. මට තනිවම සර් උස්සගන්න බෑ., මැඩම් වාහනේ යතුර… වාහනේ යතුර…, මම විජය සර්ව අල්ලා ගෙනම කෑගැසුවා.’’

ඒ වන විට චන්ද්‍රිකා සිය දරු දෙදෙනා සමඟ කෑගසමින් නිවස ඇතුළේය. එදිරි නැගිට, ගෙට දුවගොස් වාහනයේ යතුර රැගෙන විදුලි වේගයෙන් ආපසු පැමිණියේය. පෝස්ටර් ඇඳීමට පැමිණ සිටි රත්ගම උපාලිගේ බඩටත් වෙඩි වැදී තිබිණි. විජයගේ සිරුර ඔසවා ගන්නට එදිරි උදව් ඉල්ලා කෑ ගැසුවේය., ”ඒ වෙනකොට පිටරට යෑමට පෙර, චන්ද්‍රිකා මැඩම්ට බුලත්දී කතා කිරීමට පැමිණ සිටි කෙනා දුවගෙන ආවා. මම එයාගේ සහායෙන් විජය සර් වාහනයේ පිටුපස අසුනට දමා ගත්තා. උදව් කළ පුද්ගලයාටත් නඟින්න කීවා. වෙඩි වැදී සිටි උපාලිත් ඉදිරිපස අසුනට දමාගෙන, මහ රෝහල කරා වාහනය පැදෙව්වා.,’’ අවාසනාවකට ඇල්විටිගල මාර්ගය වාහනවලින් පිරී විශාල වාහන තදබදයකි. වාහනයේ නළාව එක දිගට හැඬෙව්වත් මාර්ගයේ වාහන ධාවනය වූයේ සෙමිනි. තමන් ඉදිරියට පොලිස් යතුරුපැදියක් එමින් තිබෙනු දුටු එදිරි වාහනයෙන් හිස එළියට දමා, ”උදව් කරන්න… උදව් කරන්න… විජය කුමාරතුංග මහත්තයාට වෙඩි වැදිලා, ඉස්පිරිතාලෙට ගෙනියන්න උදව් කරන්න.,’’ කියා කෑ ගැසුවේය. පොලිස් යතුරුපැදිය නොනවත්වා ඉදිරියට ගියේය.

පවතින මාර්ග තදබදයට තව පැයකටවත් රෝහලට යා නොහැකිය. එදිරි වාහනයේ පිටුපස දෙස බැලූවේය, ලේ පෙරෙමින්, විජය පිටුපස අසුනේ වැතිරී සිටියේය. ”ඉක්මනට රෝහලට ගියොත් මහත්තය බේරගන්න පුළුවන්.,’’ එදිරිගේ සිතට නැඟුණේ ඒ අදහස පමණය.

”ඉක්මනට යමු… ඉක්මනට යමු… අමාරු ලෙඩෙක් ගෙනියන්නෙ…’’ මම හිස එළියට දමාගෙන කෑගැසුවත් වැඩක් වුණේ නෑ. දෙවියනේ දැන් මොනව කරන්නද? මට මහා බියකරු බවක් දැනුණා. ඒ සමඟම පිටුපසින් පැමිණි පොලිස් බයිසිකලය වාහනය ඉදිරියට අවුත් නළාව හඟවමින් ඉදිරියෙන් යන වාහන ඉවත් කරමින් සහාය දක්වන්න පටන් ගත්තා., වාහනය කෙතරම් වේගයකින් ධාවනය වූවා දැයි එදිරිගේ මතකයේ නැත. මහ රෝහලේ හදිසි අනතුරු අංශයට රිය පදවාගෙන ආ එදිරි, හෙදියන්ට හා කාර්ය මණ්ඩලයට කෑ ගසා කතා කළේය.

”විජය කුමාරතුංග මහත්තයට වෙඩි වැදිලා, ඉක්මනට මොනව හරි කරන්න.’’ ඒ සමඟම විජයගේ සද්දන්ත දේහය ඔසවා ට්‍රොලියක දමාගත් රෝහල් සේවකයෝ ඔහු ඇතුළට ගෙන ගියහ.

”වැඩක් නැහැ… පරක්කු වැඩියි..,’’ කවුදෝ කියනු එදිරිතිලකට ඇසුණි. ”මහත්තය කොහොම හරි බේරලා දෙන්න,’’ ඔහු වෛද්‍යවරුන්ටත්, හෙදියන්ටත් බැගෑපත් වූයේය. ”කනගාටුයි දරුවා… දැන් ප‍්‍රමාද වැඩියි..,’’ වෛද්‍යවරයෙක් එදිරිගේ පිටට තට්ටු කරමින් කීවේය. ”නැහැ.. වෙන්න බැහැ…….. අපේ මහත්තයට මොකවත් වෙලා නැහැ…’’ එදිරි කෑගසමින් යළි ට්‍රොලිය වෙතට දිවගියේය.

විජයගේ සිරුර මුළුමනින්ම සුදු රෙද්දකින් වසා තිබිණි. එම සුදු රෙද්දට, රතු පැහැයෙන් ලේ උරා ගනිමින් තිබිණි. සුදු රෙද්ද ඉවත් කළ එදිරි තම ස්වාමියාගේ මුහුණ බැලීය. මුහුණක් නැත. විජයගේ මුහුණ ලෙයින් පිරී ගිය බේසමක් සේ එදිරිතිලකට දිස්විය.. ”අනේ බුදු සර්…’’ එදිරිට මතක එපමණකි.

(අයියෝ සර්… අයියෝ සර් කියලා මම විජය සර්ව උස්ස ගන්න හැදුවා, දයාසීලි ලියනගේ, ඉරිදා ලංකාදීප, 2016 පෙබරවාරි 23)

කැඩපතක ඡායා චිත‍්‍රපටයේදී විජයගේ මුහුණ විනාශ වූයේ ඇසිඞ් වැදීම නිසාය. සිනමා තිරයෙන් එළියට ඇවිත් ඔහුගේ මුහුණ වෙඩි වරුසාවකින් එසේ වේ යැයි කිසිවකු විශ්වාස නොකළේය.

එදා දිනය පිළිබඳව චන්ද්‍රිකා කුමාරතුංග විසින් ජනාධිපතිනිය ලෙස සිය මතකය පසු කාලයකදී ස්වාධීන රූපවාහිනිය සේවයේ නිව්ටන් ගුණරත්න සමඟ පවත්වන ලද සාකච්ඡාවකදී ගොනු කරන ලද්දේ මෙසේය.

”එදා මහා ශිව රාත‍්‍රි දවස… අඟහරුවාදා වුණාට රජයේ නිවාඩු, ජාතික නිවාඩුවක්… ඒ නිසා එදා ළමයි දෙන්නත් ගෙදර හිටියේ… දුව ඉස්කෝලේ යන්නැතුව හිටියා. පුතාට ඉස්කෝලයක් දෙන්න එපා කියලා, රනිල් වික‍්‍රමසිංහ අධ්‍යාපන ඇමැති හැටියට නියෝග කරලා තිබුණා. ඒ අවුරුද්දේ පුතා ඉස්කෝලේ යන්න පටන් ගන්න තිබුණේ, ජනවාරි පස්වැනිදා… පෙබරවාරි 16 වැනිදත් පාසලක් නැතුව පුතා ගෙදර හිටියා. රෝයල් කොලේජ් එක ඉල්ලූවා, ඞී. එස්. සේනානායකය ඉල්ලූවා, දෙන්න බැහැ කිව්වා. ඒකට මම උසාවි යන්න ඔන්න මෙන්න කියලා හිටියේ.

එදා උදෙත් විජය සිරිත් පරිදි ගෙදර හිටියේ. උදේ පාන්දර ළමයි දෙන්නව නාවන්නේ විජේ… ළමයි දෙන්නව නාවලා, අන්දලා, පල්ලෙහට එක්කගෙන එනවා. එතකොට මම කෑම ටික දෙනවා, ළමයි දෙන්නට, විජෙත් ඉඳගෙන කෑම කාලා, දුවව අරගෙන ගිහිල්ලා ඉස්කෝලේ බස්සලා එනවා. ඊට පස්සේ ආයෙත් ගෙදර ඇවිල්ලා, ඡන්දදායකයෝ අරගොල්ලෝ, මේගොල්ලෝ හම්බුවෙලා තමයි එයාගේ ඉතුරු කටයුතුවලට යන්නේ. එදාත් දුව, මං ළඟ ඇඳේ නිදාගෙන හිටියේ. විජය එළියට ගිහිල්ලා ඇවිල්ලා, දුවව නාවලා, අන්දන්න හදනකොට ගෙදර වැඩ කරන ගෑනු කෙනා කියලා තියෙනවා, අද නිවාඩු දවසක් විජය මහත්තයා… කියලා. ඒ පාර මට ඇවිල්ලා කිව්වා, අද නිවාඩු දවසක්නේ, මෙයාට අන්දලා වැඩක් නැහැ… කියලා. දුවව ඔඩොක්කුවේ තියාගෙන, කිරි එක දීලා, හලාවත යන්න ලැහැස්ති වුණා. දේශපාලන සාකච්ඡාවක් තිබුණා, ඒකට ගිහිල්ලා ආපහු ආවේ දොළහට විතර. එතකොට මම ගෙදර හිටියා. ආපු ගමන් දුවලා උඩට ගියා, ඇඳගෙන එන්න. විජයට හරි ඉක්මනට අඳින්න පුළුවන්. එදා මට තේරෙන්නේ නැති ප‍්‍රශ්නාර්ථයක් තියෙන දෙයක් වුණා.

ඇමෙරිකන් තානාපති කාර්යාලයත් එක්ක අපේ සම්බන්ධයක් තිබුණේ නැහැ. ඇමෙරිකන් තානාපති කාර්යාලයේ ඒ වෙලාවේ හිටිය එක් පුද්ගලයෙක්, එයා සී.අයි.ඒ. ඒජන්ට් කෙනෙක්. ඒක හැමෝම දන්නවා. එයා මට ඉන්වයිට් කරන්නේ නැතුව, විජේට දහ සැරයක් විතර කතා කළා, සාමාන්‍යයෙන් අපි දෙන්නටම ඉන්වයිට් කරනවා. මෙයා දහ සැරයක් විතර ටෙලිෆෝන් එකෙන් කතා කරලා, මම ටෙලිෆෝන් එකට කතා කළත්, නැහැ… අපි දෙන්නා කතා කරගන්න…, කියලා ටෙලිෆෝන් එක තියෙනවා. කොහොම හරි විජේව ලන්ච්වලට ඉන්වයිට් කර ගත්තා. මම නම් කිව්වා, යන්න එපා කියලා. ඒ ඉන්වයිට් කරපු විදිහ මට ඇල්ලූවේ නැහැ. කොහොම හරි විජේ ඒ දවල් කෑම සංග‍්‍රහය පිළිඅරගෙන, හලාවත ඉඳලා ආපු ගමන් ඇඳුමක් ඇඳගෙන ඒකට යන්න පල්ලෙහට ආවා. අපේ ගෙදර වැඩකටයුතු කරපු, සෙකටි‍්‍ර තිලකා එක්ක මම පල්ලෙහාට වෙලා කතා කරකර හිටියා, මමත් කාර් එකේ යතුර තියාගෙන, එළියට මොකක්හරි ගමනක් යන්න හිටියේ. ළමයි දෙන්නත් ඒ හරියේ හිටියා. එදා විජේ පුදුම කතා කිහිපයක් කිව්වා.

වේයන්ගොඩ, අත්තනගල්ලේ, මගේ දේශපාලන තරුණ ක‍්‍රියාකාරියෙක් හිටියා, උපාලි කියලා. ලංකාවේ කිසිම තැනක, අපේ කාටවත් රස්සාවල් කරන්න දෙන්නේ නැහැ. මේ අවුරුදු දාහතේම විජෙයි මමයි දෙන්නම රස්සාවල් පනහක් වත් දීලා තිබුණේ නැහැ. එජාපයට පොඞ්ඩක් ආරංචි වුණොත් රස්සාවල් වලින් ඒ අයව අස්කෙරුවා. ඒ තරුණයාට විජය බොහොම අමාරුවෙන් සිනමාවට සම්බන්ධ, එයා දන්න කෙනෙක්ට කියලා මේ තරුණයාට විදේශ නැවක රස්සාවක් අරන් දුන්නා. එයා ආවා අපිට ස්තුති කරන්න. මට ස්තුති කරලා තිබ්බේ. විජය දුවන්න හදනකොට චන්ද්‍රිකා මම යනවා කියලා. මම කිව්වා, පොඞ්ඩක් ඉන්න මේ උපාලි ඇවිල්ලා ඉන්නවා, ඔයාට යනවා කියන්න… කියලා මම කිව්වා. කොච්චර කාලෙකට ද යන්නේ උපාලි… කියලා විජය ඇහැව්වා. අවුරුදු දෙක තුනකට…, කියලා එයා කිව්වා. ගත් කටටම විජේ කිව්වේ මොකක්ද….. ”අපෝ… ඕගොල්ලෝ ආපහු එනකොට අපි මැරිලා, වළලපු තැන්වල ගසුත් පැළවෙලා තියෙයි….’’ කියලා. ඊට විනාඩි දහයකට පස්සේ විජේ මැරුණේ… ඒ කතාව නිකම්ම කිව්වා.

එහෙම කියල එහෙනං චන්ද්‍රිකා මම යනවා…, කියලා, පස්ස හැරිලා හිනාවෙලා ගියා. විජේ දවසට ගෙදර එනවා දහසැරයක් විතර… ඒ හැම පාරම මම යනවා කියලා කියන්නේ නැහැ. මමත් ගමනක් යන්න කියලා, තිලකට ඉන්ස්ට‍්‍රක්ෂන් වගයක් දීලා, මාත් යන්න ලැහැස්ති වුණා. මගේ කාර් එක තිබ්බේ ඇතුළේ… විජයගේ කාර් එක තිබ්බේ එළියේ. ගෙදර තාප්පය මම අඩි පහළොවක් විස්සක් උඩට උස්සලා තිබ්බේ. යකඩ ගේට්ටු දාලා. ඒ කාලේ අර භීෂණය පටන් අරගෙන තිබ්බේ. විජයව මරනවා කියලා තිබුණේ.

විජය එළියට ගියා. විනාඩි පහකට, දහයකට විතර පස්සේ මම එළියට යන්න ආවා. එතකොට තමයි, බර බර ගාලා සද්දේ ඇහුණේ… මම හිතුවේ, විජය ගිහිල්ලා කියලා. මොකද එයා එළියට ගිහිල්ලා විනාඩි දහයක් විතර ඇති. එයා ගේට්ටුවෙන් එළියට ගිහිල්ලා, තාප්පය උස්සපු නිසා එයාව අපිට පේන්නේ නැහැ. විජය එළියට බැහැලා කවුරු හරි පාක්ෂිකයෝ කට්ටියක් එක්ක කතා කරකර ඉඳලා තියෙනවා.

මිනීමරුවෝ ඉඳලා තියෙන්නේ, විජය ෆලෝ කරලා, නාරාහේන්පිට පාලම ළඟදී වෙඩි තියන්න. ඒ හරිය නිවාඩු දවසකදී හරි පාළුයි. මෙයා මෙතැන හිටගෙන හිටපු නිසා, ඉලක්කේ ටක්ගාලා ගන්න පුළුවන් නිසා, එතනට ඇවිල්ලා වෙඩි තිබ්බේ. ඒ වෙලාවේ දුව විජයගේ අත අල්ලගෙන හිටියේ. දුවගෙන් තමයි, කතාවේ ඉතුරු හරිය මට දැනගන්න ලැබුණේ. වෙඩි තිබ්බම, විජය හැරිලා ගේ පැත්තට දුවලා තියෙනවා. මේ සද්දේ ඇහෙනකොට ගේ ඇතුළට වෙලා හිටිය අපි හිතුවේ, එදා උත්සව දවසක් නිසා රතිඤ්ඤා පත්තු කරනවා කියලා. ඊට පස්සේ මට ඇහුනා, කවුද කෑගහනවා, මහත්තයා.., කියලා. බොහොම ආවේගයකින් එයා කෑගැහැව්වා. එතකොට මට හිතුනා, මොකක්හරි කියලා… එතකොට මම එළියට දුවගෙන ගියා… මගේ පස්සෙන් තිලකත් දුවගෙන ආවා… ඒ එනකොට දුව දුවගෙන එනවා ඇතුළට, තාත්තී… තාත්තී…, කියාගෙන, දුව අඬාගෙන ඇතුළට ආවා. මට එතකොට මොනවා වුණාද කියලා මම දන්නේ නැහැ… මම එළියට දිව්වා… එතකොට මම දැක්ක දේ තමයි, කවුරු හරි බිම වැටිලා ඉන්නවා, මිනීමරුවා උඩ පැන පැන ඔළුවට වෙඩි තියනවා…,

දිවයින පුවත්පත ඇසුරෙනි

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *