Home Local News ජෙරම්ගේ කෝටි ගානක් කොළඹ 7 සඟවලා!

ජෙරම්ගේ කෝටි ගානක් කොළඹ 7 සඟවලා!

0
Screenshot

ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයාට අයත් සමාගම් හයක තිබූ අති විශාල මුදලක් ඔහුට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ විමර්ශන ආරම්භ කිරීමෙන් පසුව එම සමාගම්වලින් ඉවත් කරගෙන කොළඹ හත ප්‍රදේශයේ නිවසක සඟවා ඇති බවට තොරතුරු ලැබී ඇති බව පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා ඊයේ (මැයි 13) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවසීය.

සැකකාර ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයාගේ ගිණුම්වල තිබූ රුපියල් කෝටි 1,100ක පමණ මුදලක් මීට පෙර ද ඔහුගේ ගිණුම් හරහා සංසරණය වී ඇති බවට නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතා පෙර පැවැති පෙත්සම් විභාගයේදී අධිකරණයට දැනුම් දී ඇති බව ද ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ පැවසීය.

පෙත්සම්කාර ඇල්ලේ ගුණවංශ හා බෙංගමුවේ නාලක හිමිවරුන් ඇතුළු පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිට කරුණු දක්වමින් ජනාධිපති නීතිඥවරයා අධිකරණයට ඒ බව දැනුම් දුන්නේ ය.

මේ සම්බන්ධයෙන් කරුණු දැක්වූ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ කියා සිටියේ වගඋත්තරකාර ජෙරම් ප්‍රනාන්දුට අයත් අති විශාල මුදලක් කොළඹ හත ප්‍රදේශයේ නිවසක සඟවා ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව ය. වගඋත්තරකාර දේවගැතිවරයාට එරෙහිව සිදු කරන විමර්ශන සඳහා ඔහු අධ්‍යක්ෂ ධූරය දැරූ සමාගම් හයක් ඇතුළු 18ක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බවත් ඒ සම්බන්ධයෙන් අභ්‍යන්තර විගණන වාර්තා ලබාගෙන වැඩිදුර විමර්ශන සිදුකරන බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේ ය.

ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා ප්‍රසිද්ධ දේශනයන්හිදී බුදු දහම ඇතුළු අනෙකුත් ආගම්වලට අපහාස වන ආකාරයෙන් සිදුකර ඇතැයි කියන ප්‍රකාශවල හඬ සාම්පල් රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කර වාර්තාවක් ලබා ගැනීමට පියවර ගෙන ඇතැයි ද පීරිස් මහතා පැවසීය.

ඉදිරි සති දෙකක කාලය තුළ එම වාර්තා ලබා ගැනීමෙන් අනතුරුව වගඋත්තරකාර දේවගැතිවරයාට එරෙහිව අන්‍ය ආගම්වලට අපහාස වන ආකාරයෙන් දේශන පැවත්වීමේ සිද්ධිය යටතේ නීතිමය පියවර ගන්නා බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කියා සිටියේ ය.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය ජනක් ද සිල්වා ඇතුළු විනිසුරු මඬුල්ලක් හමුවේ එම පෙත්සම කැඳවනු ලැබූ අතර ප්‍රගතිය වාර්තා කිරීම සඳහා ලබන මස 10 දින පෙත්සම නැවත කැඳවීමට ද අධිකරණයෙන් නියම විය.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version