Home Local News මැතිවරණවලටත් මැයි දිනයටත් බය දේශපාලන පක්ෂ

මැතිවරණවලටත් මැයි දිනයටත් බය දේශපාලන පක්ෂ

0

මෙම මාසයේ මුලදී ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ප්‍රතිපත්ති පොලී අනුපාතිකය සියයට දශම පහකින් (0.5%) අඩු කිරීමට තීරණය කළේය. රටක ආර්ථිකය හැසිරවීමේ එක් මෙවලමක් වන්නේ මහ බැංකු පොලී අනුපාතිකයයි. පොලී අනුපාතිකය අඩු වැඩිවීම ආර්ථිකය ප්‍රසාරණය වීමට මෙන්ම සංකෝචනය වීමටද බලපායි. මේ වනවිට ප්‍රතිපත්ති පොලී අනුපාතිකය සියයට 6 මට්ටමේ පවතී.

රටේ වාණිජ බැංකුවල තැන්පතු හා ණය පොලී අනුපාත තීරණය වීම මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික තීරණය වීම මත ක්‍රියාත්මක විය යුතුය. එහෙත් අපේ රටේ පොලී අනුපාතික පහළ හෙලීමෙන් ලැබෙන වාසිය ජනතාවට එසේම ලැබේද යන්න සාකච්ඡාවට බඳුන් විය යුතු කරුණකි. බොහෝ ආර්ථික විශ්ලේෂකයන්ගේ මතය වනුයේ වාණිජ බැංකු ස්වකීය ලාභ උපරිම කර ගැනීම සඳහා පොලී අනුපාත යොදා ගන්නා බවය. සාමාන්‍යයෙන් ණය පොලී හා තැන්පතු පොලී අතර තිබිය යුතු අනුපාත වෙනස සියයට දෙකක් පමණ විය යුතු නමුත් අපේ රටේ වාණිජ බැංකු එම සම්මතය කඩ කරමින් සියයට 7 – 8 ක ප්‍රමාණයේ අධික ලාභ ලබාගැනීමට පුරුදුව සිටී. පසුගිය දිනවලදීද මෙම තත්ත්වය වෙනස් කරන ලෙසට බැංකුවලට කිහිප වරක් උපදෙස් දීමට ශ්‍රී ලංකා මහ බැංකුවට සිදුවිය. එසේ වුවත් ඇතැම් වාණිජ බැංකු තවමත් පොලී අනුපාත තීරණය කරනුයේ හිතුවක්කාර අන්දමට බව කිව යුතුය.

බැංකු ව්‍යාපාරය යනු අනුන්ගේ මුදල්වලින් ලාභ ලැබීමේ ක්‍රමවේදයක් අනුගමනය කිරීමකි. බැංකු ආයෝජනය කරන්නේ පාරිභෝගිකයන්ගේ මුදල්ය. පාරිභෝගිකයාගෙන් ගන්නා මුදල්වලට පොලියක් ගෙවන අතර එම මුදල් ආයෝජනය කිරීමෙන් එයට වඩා ආදායමක් ලබයි. දැනට වාණිජ බැංකුවල ප්‍රධාන ආයෝජනයක් වී ඇත්තේ මුදල් ණයට දීමය. එහිදී බැංකු ලබන අවදානම අඩු වේ. එම ණය පොලිය සමඟ අයකර ගැනීමේ ක්‍රමවේදය සරල එකකි. ශ්‍රී ලංකා මහ බැංකුව නියාමනය කරනුයේ මෙම ක්‍රියා පටිපාටියයි. මෙහිදී වාණිජ බැංකුවලට සාධාරණ ආදායමක් ලැබිය යුතු අතර ණය පොලිය අඩුවීමෙන් ගනුදෙනුකරුවාටද යම් සහනයක් හිමිවිය යුතුය. වාණිජ බැංකු වැඩි පොලියක් අය කරන්නේ නම් හෝ තැන්පතුවලට අඩු පොලියක් ගෙවන්නේ නම් ගනුදෙනුකරුවෝ විකල්ප ක්‍රමවේදවලට යොමුවෙති.

පිරමිඩ ජාවාරම් ඇතිවන්නේද දඬුවම් මුදලාලිලා වැනි ගිනි පොලීකරුවන් මතුවන්නේද ක්ෂුද්‍ර මූල්‍ය ආයතන බිහිවන්නේද මෙහි ප්‍රතිඵලයක් වශයෙනි. එම ජනතාවට සහන සැලසීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවට විශාල වගකීමක් තිබේ. අද රටේ ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමත වාණිජ බැංකු 27ක් පමණද මූල්‍ය ආයතන 20 කට ආසන්න සංඛ්‍යාවක්ද තිබේ. ඔවුන් නියාමනය කිරීම මහ බැංකුවේ වගකීමක් වන අතර ඒ සඳහා වෙනම දෙපාර්තමේන්තුද ශ්‍රී ලංකා මහ බැංකුවේ පවතී. එහෙත් ඇතැම් අවස්ථාවල මේවා හැසිරවීමට මහ බැංකුවට දුෂ්කර අවස්ථා ඇතිවෙයි. බැංකු පොලී මට්ටම් තීරණය කිරීමේ බලය එම බැංකුවල අධ්‍යක්ෂ මණ්ඩල සතුය. ඒවාට උපදෙස් දෙනු විනා නියෝග නිකුත් කිරීමට මහ බැංකුවට නොහැකිය.

නොයෙක් හේතු නිසා බැංකු සහ මූල්‍ය ආයතන අලාභ තත්ත්වයට පත්වී ඒවා ඈවර කිරීමට සිදුවුවහොත් ඒවායේ මුදල් තැන්පත් කර ඇති පිරිස ආරක්ෂා කිරීමේ වගකීම ශ්‍රී ලංකා මහ බැංකුව සතු වෙයි. එසේම බැංකු බිඳවැටීම වළක්වාලීමට කටයුතු කිරීමද මහ බැංකුවේ වගකීමක් වෙයි. 

මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතිකය නියාමනය කරනුයේ එයින් ජනතාවට සහනයක් ලබාදීම අවශ්‍ය නිසාය. මේ වර්ෂය මුලදී සියයට 16 – 20 මට්ටමේ තිබූ ණය පොලී අනුපාතය මේ වනවිට සියයට 8 – 9 දක්වා පහත වැටී තිබේ. ඒ නිසා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ස්වකීය ව්‍යාපාර ප්‍රවර්ධනය සඳහා විශාල පිටිවහලක් ලැබී ඇත. එසේම අනිත් පැත්තෙන් බැංකු පොලියෙන් යැපුණු ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වැනි අයට පොලිය අඩුවීම නිසා විශාල හිරිහැරයක් සිදුව ඇතැයි මැසිවිලි කියැවේ. මේ අන්ත දෙකටම මැදිව පොලී අනුපාත නිසි පරිදි හසුරුවා අවශ්‍ය ප්‍රතිඵල ලබාගැනීම අද වනවිට ප්‍රධාන අවශ්‍යතාවක් වී ඇත.

මේ පිළිබඳව අදහස් දක්වන ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අංශයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා පවසන්නේ ශ්‍රී ලංකා ආර්ථික කැඳ මුට්ටිය ලිප්ගල් තුනක් මත පිහිටා ඇති බවය. එම ලිප්ගල් තුන වන්නේ උද්ධමනය, පොලී අනුපාතිකය හා විදේශය විනිමය අනුපාතිකයයි. 2022 වසරෙන් පසු මෙම ලිප්ගල් තුනම බිඳවැටීමට පටන්ගෙන ඇත. උද්ධමනය ඉහළ නැගීම තීව්‍ර බවට පත්වී සියයට 60 කට අධික උද්ධමනයක් ඇතිවූ අතර පොලී අනුපාතය සියයට 30 – 32 දක්වා ඉහළ ගියේය. භාණ්ඩාගාර බිල්පත් සියයට 30ට අධික ලෙස ඉහළ පොලියකට අලෙවි වූ බව මහාචාර්යවරයා පවසයි.

ඔහු මෙසේ සිය අදහස් පළ කරයි.

”දැන් මේ කරුණු තුනම සමනය වෙමින් පවතිනවා. මහ බැංකු පොලී අනුපාතය දිගින් දිගටම ගලපනවා. මෙලෙස ප්‍රතිපත්ති පොලී අනුපාත විටින් විට වෙනස් කිරීමෙන් වාසි මෙන්ම අවාසිද හිමි වෙනවා. තැන්පතු පොලිය මෙන්ම ණය පොලියද අඩුවෙලා තියෙනවා. විදේශ විනිමය අනුපාතිකය අපට වාසි සහගත ලෙස අඩුවෙමින් පවතිනවා. උද්ධමනය අඩුවීම නිසා ජනතාවගේ මුදල්වල වටිනාකම වැඩි වී තිබෙනවා. මෙම තත්ත්වය රටේ ආර්ථිකයට යහපත්.

පොලිය වැඩි වී තිබූ කාලයේ පොලිය වැඩිපුර ගෙව්වේ ස්ථාවර තැන්පතුවලටයි. සාමාන්‍ය ඉතුරුම් පොලී අනුපාතිකය තිබුණේ සියයට 3 මට්ටමේ. පොලී අනුපාතික වැඩිවීමෙන් වාසි වුණේ විශාල වශයෙන් ස්ථාවර තැන්පතුවල මුදල් දමා තිබෙන ධනපති පන්තියටයි. වසර මුල වනවිට අඩු පොලියට ණයක් ගත නොහැකිවීමෙන් සහ නිෂ්පාදන පිරිවැය ඉහළ යාමෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වැසී යන තර්ජනයකට ලක්වී තිබුණා. දැන් පොලී අනුපාත අඩු නිසා ඒ අයට අඩු පොලියට ණය ගන්න පුළුවන්. අපේ රටේ ආනයන අපනයන බැංකු සහ සංවර්ධන බැංකු ඇතිකර ඒ මගින් ව්‍යාපාරිකයන්ට අඩු පොලියට ණය දීමට පුළුවන්. ආනයන අපනයන බැංකු මගින් ණය දීමට පහසුකම් සැලසිය යුතු වෙයි. එසේම ස්ථාවර තැන්පතුවලට පමණක් නොව සාමාන්‍ය තැන්පතුවලටද සාධාරණ පොලියක් හිමිවිය යුතුයි. එහෙත් ඒ ප්‍රතිලාභය අපේ රටේ ජනතාවට අහිමි කළා.

අද රටේ පවතින වාණිජ බැංකු සහ මූල්‍ය සමාගම් පිළිබඳ ගැටලුවක් පවතිනවා. මිලියන 20 ක සමස්ත ජනතාව සඳහා 27ක් තරම් විශාල බැංකු සංඛ්‍යාවක් තියෙනවා. ලීසිං සමාගම් 34ක් තියෙනවා. බැංකු සහ මූල්‍ය සමාගම් සමහරක ප්‍රාග්ධනය අඩුවීමෙන් ඒවා දුර්වල වෙලා. ඒ නිසා කුඩා බැංකු එකතු කරලා ශක්තිමත් වාණිජ බැංකු 10ක් පමණ ඇතිකළ යුතුයි. එවිට ව්‍යාපාරිකයන්ට තවත් අඩු පොලියට ණය දීමට පුළුවන් වෙනවා. එසේම බැංකු සහ මූල්‍ය ආයතන අතර පවතින තරගයද අවම කළ හැකියි. එවිට ජනතාවට ව්‍යාපාරවලට හා නිවාස තැනීමට ගොඩනැගිලි ඉදිකිරීමට පහසුකම් සැලසෙනවා. රටේ ආර්ථිකය ප්‍රසාරණය වීමෙන් ජනතාවට ප්‍රතිලාභ ලැබීම වැඩි වෙනවා.

අනිත් කරුණ වන්නේ ණය පොලිය අඩු වූවාය කියා එහි ප්‍රතිලාභ ජනතාවට වහාම දෙන්න බැරිකමයි. එයට හේතුව ව්‍යාපාරිකයන් දැන් කටයුතු කරගෙන යන්නේ වසර මුල වැඩි පොලියට ගත් ණය මුදල් ආයෝජනය කිරීමෙන් වීමයි. ඒ නිසා එකවරම ජනතාවට දැනෙන වෙනසක් සිදු කළ නොහැකියි. එහෙත් ඉදිරියේදී යම් අඩුවීමක් සිදුවිය හැකියි.

ව්‍යාපාරිකයන් ණය ගන්නේ කාරක ප්‍රාග්ධනය හා ස්ථාවර ප්‍රාග්ධනය යන දෙකම සඳහායි. කාරක ප්‍රාග්ධනය යනු කෙටිකාලීන වියදම්. ස්ථාවර ප්‍රාග්ධනය යනු දිගුකාලීන වියදම්. ඒ නිසා නිෂ්පාදන මිල එකවරම විශාල ලෙස වැඩි වෙයි කියා සිතිය නොහැකියි. පොලියට වඩා බදු පිළිබඳ ප්‍රශ්නය තමා මෙතැනදි බලපාන්නේ. පොලී අනුපාත වැඩිවීම බදුවලට බලපානවා. ඒ නිසා පොලියට වඩා අහිතකර වන්නේ උපයන ආදායමෙන් බදු කපා ගැනීමයි. බදු වැඩි වන්නේ නම් ව්‍යාපාරයට ලැබෙන ලාභය වැඩි වෙයි. එහෙත් මේ වනවිට පොලී අනුපාතය වැඩිවන බව නොදැනෙන්නේ බදුවලින් එම වාසිය ආපසු ගන්නා නිසායි.

මේ තත්ත්වය අනුව ප්‍රතිපත්ති පොලී අනුපාතිකය අඩු කළා යැයි එකවරම ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුමක් ලැබෙන බව කියන්න අපහසුයි. එහෙත් දිගටම ආර්ථිකය මෙම තත්ත්වයේ තිබුණහොත් ජනතාවට ඉදිරියේදී යම් සහන ලැබෙනවා ඇති.”

සමස්ත ලංකා විශ්‍රාමිකයන්ගේ ජාතික සංවිධානයේ හිටපු සභාපති සහ රාජ්‍ය සේවා විශ්‍රාමිකයන්ගේ භාර අමුදලේ කඩුවෙල කොට්ඨාස සංගමයේ සභාපති නීතිවේදී සිරි සිංගප්පුලි:

”ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට පමණක් ලබාදුන් සියයට 15 විශේෂ පොලී අනුපාතය මේ වනවිට පහත දමා තිබෙනවා. එයින් විශ්‍රාමික ප්‍රජාවට විශාල අසාධාරණයක් සිදුව තිබෙන බව පැවසිය යුතුයි. මේ වනවිට ඔවුන්ට ගෙවන්නේ ස්ථාවර තැන්පතුවලට සාමාන්‍යයෙන් හිමිවන සියයට 8 වාර්ෂික පොලී අනුපාතයයි. විශ්‍රාමිකයන්ට විශ්‍රාම ගන්නා අවස්ථාවේ හිමිවන ප්‍රසාද දීමනාව මෙම විශේෂ පොලිය යටතේ තැන්පත් කර ඔවුන් යම් ආදායමක් ලැබුවා. එහෙත් රජය ඒ පිළිබඳ කිසිදු සැලකිල්ලක් නොදන්වා එකවරම ගත් මෙම ක්‍රියාමාර්ගය නිසා විශ්‍රාමික ප්‍රජාව කබලෙන් ලිපට වැටීමක් සිදුව තිබෙනවා. අද ජීවන වියදම විශාල ලෙස වැඩි වී තිබෙන අවස්ථාවක ඔවුන්ට ලැබෙන සොච්චම් විශ්‍රාම වැටුපෙන් ජීවත් වීමට අපහසුයි. බොහෝ විශ්‍රාමිකයන්ට ස්වකීය විශ්‍රාම වැටුප මුළුමනින්ම පාහේ වැය කරන්නට සිදුව ඇත්තේ බෙහෙත් සඳහායි. ආහාරපාන සඳහා මෙන්ම වෙනත් සමාජ අවශ්‍යතා සඳහා වියදම් කිරීමට යම් වෙනත් ආදායම් මාර්ගයක් තිබිය යුතුයි. ඒ සඳහා මෙම විශේෂ බැංකු පොලිය උපයෝගී වුණා. එහෙත් අකාරුණික ලෙස බැංකු පොලිය අඩුකිරීම නිසා විශාල අසාධාරණයක් වෙලා තියෙනවා. එසේම සාමාන්‍ය තැන්පතුවලටද ගෙවනුයේ සියයට 2 ½ – 3 ක පමණ ඉතාම අඩු පොලියක්.

අප මේ පිළිබඳව රජයේ ප්‍රධාන පෙළේ මැති ඇමැතිවරුන්ට කරුණු ඉදිරිපත් කළා. රාජ්‍ය පරිපාලන ඇමැති වන වත්මන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හමුවී කරුණු පැවසුවා. ඒත් කිසි කෙනකුගෙන් බුරුලක් ලැබුණේ නැහැ.

මේ හැර ස්ථාවර තැන්පතුවලට ලැබෙන පොලී ආදායමෙන් සියයට පහක් පොලිය ලැබෙන විට රඳවා ගැනීමේ බද්ද ලෙස බැංකු කපා ගන්නවා. මේ නිසා ලැබෙන පොලී ආදායමක් තව අඩු වෙනවා. පොලී අනුපාත අඩු කළාට කමක් නැහැ එයින් රටට හෝ ජනතාවට යම් සහනයක් ලැබෙනවා නම්. ඒත් එවැන්නක් දැකගත නොහැකියි. 

දැනට විශ්‍රාම වැටුප් ලබන රාජ්‍ය සේවකයන් ලක්ෂ 7ක් පමණ සිටිනවා. ඔවුන්ගේ පවුල්වල ලක්ෂ 25ක් පමණ සාමාජිකයන් සිටිනවා. ඒ අයටත් මෙය තදින් බලපානවා. නුදුරේදී එන මැතිවරණවලදී අපේ සාමාජිකයන්ට විශාල බලපෑමක් කරන්නට අවස්ථාව තියෙනවා. ඒ පිළිබඳ අපි නුදුරේදී උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කරන්නට දැන් සිට සැලසුම් කරමින් සිටිනවා.”

පාරිභෝගික අයිතින් සුරුකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ පවසන්නේ අද වනවිට රටේ රාජ්‍ය බැංකු ඇතුළුව සියලුම බැංකු පාරිභෝගිකයා සූරා ගන්නා කළුකඩකාරයන් බවට පත්ව සිටින බවයි.

”පාරිභෝගික ගනුදෙනුකරුවා බැංකුවලට යන්නේ තමන්ගේ ආදායම් මාර්ගවලට යම් සහනයක් උත්තේජනයක් ලබා ගන්නයි. ඒත් බැංකු උත්සාහ කරන්නේ අය කරගත හැකි උපරිම පොලිය අයකර තම ලාභය උපරිම කර ගැනීමයි. මෙය ජනතාව ගසාකෑමේ කූඨ ව්‍යාපාරයක්. පොලිය අඩු කිරීමෙන් ජනතාවට ලැබෙන සහනයක් නැහැ. එහි වාසිය ලැබෙන්නේද රජයටයි. පොලිය අඩු කළාම ආණ්ඩුවට භාණ්ඩාගාරයෙන් අඩු පොලියට ණය ගන්න වැඩි පහසුවක් ලැබෙනවා. ජනතාව දඩමීමා කරගෙන ඔවුන් වාසි ලබා ගන්නවා. මහජනතාවට ණය ගන්න ගියාම හිරිහැර විශාල ලෙස සිදුවෙනවා. ඇපකරුවන් සෙවීම, සුරුකුම් තැබීම ආදියෙන් ණය ගැනිල්ල එපා කරලයි තියෙන්නේ. ඒ නිසා තමයි ඔවුන් පහසුවෙන් ණය ගන්න පුළුවන් මුදලාලිලාගෙන් ගිනි පොලියට ණය ගන්නේ. 

රාජ්‍ය බැංකු විශේෂයෙන් ජනතාවාදී විය යුතුයි. එහෙත් අපේ රාජ්‍ය බැංකුවලට වඩා අඩු පොලියට පෞද්ගලික බැංකුවලින් ණය ගන්න පුළුවන්. පෞද්ගලික බැංකු තැන්පතුවලට රාජ්‍ය බැංකුවලට වැඩිය පොලිය ගෙවනවා. රාජ්‍ය බැංකු ජනතාවගෙන් ඈත්වෙන්නේ ඒ නිසයි.”

I යසවර්ධන රුද්රිගූ

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version