Home Local News සජබ මන්ත්‍රීලා 6කට රනිල්ගෙන් කෝටි 32ක්!

සජබ මන්ත්‍රීලා 6කට රනිල්ගෙන් කෝටි 32ක්!

0

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ විශේෂ දැනුවත් කිරීමකින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් හය දෙනෙකුට විමධ්‍යගත යෝජනා හරහා සංවර්ධන කටයුතුවලට රුපියල් කෝටි 32කට අධික මුදලක් වෙන්කර තිබේ.

2024 විමධ්‍යගත අය – වැය වැඩසටහනින් ප්‍රාදේශීය සංවර්ධන ව්‍යාපෘති කිරීම සඳහා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව මගින් ඉදිරිපත් කර ඇති යෝජනාවලට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ජනාධිපතිවරයා වෙත ඍජුව ම ඉදිරිපත් කරනු ලැබ ඇති සංවර්ධන ව්‍යාපෘති යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රතිපාදන නිදහස් කරන ලෙස ඒ අනුව ජනාධිපතිවරයා උපදෙස් දී ඇතැයි ‘ඉරිදා මව්බිම’ ට අනාවරණය විය.

සමගි ජනබලවේගයේ මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මන්ත්‍රිවරයා විසින් ඉදිරිපත් කර ඇතැයි සඳහන් ව්‍යාපෘති යෝජනා 85ක් ක්‍රියාත්මක කිරීමට නිදහස් කරනු ලැබ ඇති මුදල රුපියල් 50,200,000.00කි.

එමෙන් ම, පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. ෆවුසි විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති ව්‍යාපෘති 89කට ජනාධිපතිවරයා විසින් වෙන් කර ඇති මුදල රුපියල් 81,677,376.94කි. අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් ඉදිරිපත් කර ඇති ව්‍යාපෘති 708ක් සඳහා රුපියල් 100,000,000.00ක මුදලක් ද, සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් මාන්නපෙරුමගේ ව්‍යාපෘති 85කට රුපියල් 49,986,250.00ක් ද සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ‍ෙදාස්තර කාවින්ද හේෂාන් ජයවර්ධනගේ ව්‍යාපෘති 34ක් සඳහා රුපියල් 69,000,000.00ක මුදලක් ද සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගයන්ත කරුණාතිලකගේ ව්‍යාපෘති 25කට රුපියල් 51,000,000.00ක මුදලක් ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මූල්‍ය ප්‍රතිපාදන නිදහස් කරනු ලැබ තිබේ.

මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් විමධ්‍යගත අය වැය වැඩසටහන 2024 සම්බන්ධව නිකුත් කර ඇති අංක MF/02/2023 හා 2023.12.29 දිනැති මුදල් චක්‍රලේඛය ඇතුළත් විධිවිධානයන් මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී අදාළ කරගත යුතු බව ජනාධිපති ලේකම් විසින් අදාළ මන්ත්‍රීවරයන්ව දැනුවත් කර ඇත.

මෙම ව්‍යාපෘති හඳුනා ගැනීම සිදුකර ඇති බවත් එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා විසින් අනුමැතිය ලබාදී ඇති බැවින් එකී කාර්යයන් හැර ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම හා අධීක්ෂණය කිරීමේදී අදාළ චක්‍රලේඛයක් මගින් ලබා දී ඇති උපදෙස් අනුගමනය කළ යුතු බවත් ජනාධිපති ලේකම් ටී.එම්.එස්.බී ඒකනායක විසින් වැඩිදුරටත් දැනුම් දී ඇත. තව ද මෙම ප්‍රතිපාදන යටතේ සිදුකරන වියදම් 2024.07.31ට පෙර ගිණුම්ගත කරන ලෙසද දැනුම් දී ඇත.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version