Home Local News මුහුද හත්ගව්වක් තියෙද්දී මම අමුඩ ගහන්නේ නෑ

මුහුද හත්ගව්වක් තියෙද්දී මම අමුඩ ගහන්නේ නෑ

0

තම නම කෙසේ වෙතත් මෙවර ජනපතිවරණ ඡන්ද පත්‍රිකාවේ අනිවාර්යයෙන්ම පොහොට්ටු ලකුණ දැකිය හැකිවනු ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

පොදුජන පෙරමුණ අනිවාර්යයෙන්ම ජනපතිවරණයට අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බවත් එම අපේක්ෂකයින් අතර රනිල් වික්‍රමසිංහ මහතා ද සිටිය හැකි බවත් ඔහු පවසා තිබෙනවා.

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කර ඇත්තේ, මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්.

තම පක්ෂය වැඩපිළිවෙළක් හා සැලැස්මක් අනුව දේශපාලනය කරන බවත්, රටේ අනාගතයත් පක්ෂයේ ප්‍රතිපත්ති ගැනත් සලකා තීන්දු තීරණ ගන්නා බවයි ඔහු පවසා ඇත්තේ.

කාලානුරූපීව රටේ පක්ෂවල ප්‍රතිපත්ති නවීකරණය වන බව සඳහන් කර ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මේ වන විට ජනතා විමුක්ති පෙරමුණත් නවීකරණය වීමට උත්සහ ගන්නා බව පවසනවා.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පසුගියදා ඉන්දියාවට, කැනඩාවට සහ ඇමරිකාවට ගිය බව සිහිපත් කළ ඔහු මුළදී ඔවුන් ඉන්දීය ව්‍යාප්ත වාදයට විරුද්ධව සටන් කළ පක්ෂයක් බව සිහිපත් කළා.

මේ නිසා විවිධ පක්ෂ තම අභ්‍යන්තර ප්‍රතිපත්තීන් වෙනස්කරමින් කටයුතු කරන නිසා ජනතාවට විලක්ප රැසක් පවතින බවත් ඒ අතරින් ගැලපෙන හොඳම විකල්පය ජනතාව තෝරා ගනු ඇති බවත් ඔහු පවසනවා.

ජනතාව මුහුණ දී තිබෙන අපහසුතාවලට යම් සාධාරණයක් කළ යුතු පදනම මත ආණ්ඩුවට සහය දෙන අතරම පක්ෂයෙන් තමන්ට බාර දී තිබෙන වගකීම ඉටු කරන බවයි ඔහු සඳහන් කර ඇත්තේ.

පොදුජන පෙරමුණ ලෙස පසුගිය කාලයේ දී විශාල පසුබෑමකට ලක්ව ඇති අතර, පක්ෂය ගොඩ නගාගෙන ඉදිරියේ දී එන ඕනෑම මැතිවරණයක් ජයග්‍රහණය කළ හැකි ආකාරයට පක්ෂය ගොඩ නැගීම තම අරමුණ හා වගකීම බවයි ඔහු අවධාරණය කර ඇත්තේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ අලියා ලකුණ යටතේ නොවන්නේ නම් එතුමා ඒ සම්බන්ධව පක්ෂය දැනුවත් කිරීමෙන් පසු පක්ෂයේ විධායක සභාව හා දේශාපලන මණ්ඩලය ඒ ගැන සාකච්ඡා කර තීරණයක් ගනු ඇති බවත් ඔහු සඳහන් කර තිබෙනවා.

ජනාධිපතිවරණයක් ආසන්න වනවිට තරඟකාරීත්වයක් ඇති වීම සාමාන්‍ය කරුණක් බවත්, ඒ තරඟාකාරීත්වය තුළින් හොඳම අපේක්ෂකයා තෝරා ගැනීමට හැකියාව ලැබෙන බවත් ඔහු සඳහන් කර ඇති අතර ජනපති අපේක්ෂකයෙකු තෝරා ගැනීමට පොදුජන පෙරමුණ තුළ ඉතාමත් හොඳ තරඟයක් තිබෙන බවයි අවධාරණය කර ඇත්තේ.

ඉදිරියේදී පැවැත්වෙන්නේ ජනපතිවරණයක්ද නැතිනම් මහමැතිවරණයක්ද යනුවෙන් තීරණය කළ පසු, අනෙක් පක්ෂ සමඟ සාකච්ඡා කර යම් එකඟතාවකට පැමිණිය හැකි බව ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version