“අපේ සම සෑදී තිබෙන්නේ මෙලනින් වර්ණකයෙන් සැදුණු සෛලවලින්. සාමාන්‍යයෙන් සමකයට ආසන්න රටවල මිනිසුන්ගේ සමේ වර්ණය බොහෝ දුරට දුඹුරු පැහැයට හුරු පැහැයක් ගන්නා අතර සමකයෙන් දුරස් වෙන්න වෙන්න සමේ පැහැය ලා පැහැයක් ගන්නවා. දුඹුරු පැහැයට හුරු සමක් ස්වභාවිකවම ලැබී තියෙන්නේ හිරු එළියෙන් ආරක්ෂා වීමටයි. සම සුදු කරගැනීමේ අරමුණින් භාවිත කරන ආලේපනවලින් සිදුවන්නේ මෙලනින් වර්ණකය සහ මෙලනින් වර්ණක සෛල විනාශ වීමත් තද පැහැති වර්ණකය වෙනුවට ලා පැහැති වර්ණකයක් නිපදවීමත්. දවස් 28 කට සැරයක් සම නිරන්තරයෙන් අලුත්වැඩියා වෙනවා. කිසිදු ආලේපනයකින් සම සුදු වීමක් වුණත් ඒවා දීර්ඝකාලීනව පැවැත්මක් නෑ. ඒ නිසා මේ ආලේපන වර්ග දීර්ඝ කාලීනව භාවිත කරන්න වෙනවා.”
ඉහත අදහස උපුටා ගැනුණේ චර්ම රෝග විශේෂඥ වෛද්‍ය නයනී මදාරසිංහ මහත්මිය රූපවාහිනී වැඩසටහනකදී පැවසූ දේශනයක කොටසකිනි.
මහා කළු සිංහලයාගේ සමේ වර්ණය සම්බන්ධයෙන් කාලයෙන් කාලයට විවිධ කථිකා සමාජයේ නිර්මාණය වෙමින් පවතී. පාරිභෝගික අධිකාරිය පසුගිය දා ඇඟ හිරිවැටෙන අනාවරණයක් කළේය. ඔවුන් පැවසුවේ වර්තමානයේ කාන්තාවන් අන්තර්ජාලය හරහා ප්‍රචාරය කෙරෙන සම සුදුකර ගැනීමේ ආලේපන භාවිත කිරීමට පෙළඹී සිටින බවත් ඒ හේතුවෙන් බොහෝ දෙනා සෞඛ්‍ය ගැටලු රැසකට මුහුණ දී සිටින බවත්ය. අන්තර්ජාලය හරහා අලෙවි කරන සම සුදු කර ගැනීමේ අලේපන සහ දියර වර්ග භාවිත කිරීමේදී වඩාත් සැලකිලිමත් විය යුතු බවයි.
මේ සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ පාරිභෝගික හා තොරතුරු අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා මෙසේ සඳහන් කළේය.
“සමාජ මාධ්‍යයේ වෙළෙඳ දැන්වීම් ආකාරයට ලස්සන කාන්තාවන් තිරය ඉදිරියට පැමිණ තමන් භාවිත කරනවා යැයි කියමින් ක්‍රීම් වර්ග හඳුන්වා දෙනවා. අපි ඒක දකින්නේ වෙළෙඳ දැන්වීමක් ලෙසයි. ඒ වෙළෙඳ දැන්වීමට වැඩි අවධානයක් යොමු කර බැලුවොත් ඒ වෙළෙඳ දැන්වීම දාපු කෙනාගේ දුරකතන අංකයක් විතරක් තියෙන අවස්ථා තියෙන්න පුළුවන්. සමහරවිට දුරකතන අංකයක් නැහැ. ලිපිනයක් නැහැ. මේක භාවිත කරලා යම් ගැටලුවක් ආවොත් අපිට හොයාගන්න බැහැ කොයි වගේ පුද්ගලයෙක්ද මේ භාණ්ඩය විකුණුවේ කියලා. සමාජ මාධ්‍ය ඔස්සේ මේ වගේ දේ ඇණවුම් කර ලබාගැනීම සම්බන්ධයෙන් කාන්තාවන් විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනෑ. විශේෂයෙන්ම මේ කියන ක්‍රීම් වර්ග, ආලේපන වර්ග භාවිත කිරීමෙන් අපි දුරස් වෙන්න ඕනෑ.”
පාරිභෝගික අධිකාරිය මගින් කරන මෙම නිවේදනය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම වැදගත් නිසාම අපි මේ ගැන වැඩිදුර සොයා බලන්නට තීරණය කළෙමු.
කෙටි කලකින් සමේ වර්ණය පැහැපත් කරගැනීමේ අරමුණින් වයස් භේදයකින් තොරව කාන්තාවන් ඇතුළු බොහෝ දෙනා විවිධ ආලේපන වර්ග භාවිත කිරීමට පෙළඹී සිටීම මෑත කාලයේ වැඩිපුර දකින්නට ලැබෙයි.
මේ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේ ලෝකයේ පිළිගත් ක්‍රමවේදය අනුව කිලෝග්‍රෑමයකට රසදිය මිලිග්‍රෑම් එකකට වඩා අඩුවෙන් යම් ආලේපනයක හෝ ද්‍රව්‍යයක අඩංගු වීම අනිවාර්යය වුවත් කිසිදු ලියාපදිංචියක් නොමැතිව කිසිදු නියාමනයක් නොමැතිව අලෙවි වන සමහර ආලේපනවල රසදිය ඉතා විශාල සාන්ද්‍රණයක් අඩංගු වී තිබෙන බවට රසායනාගාර පර්‌යේෂණ වාර්තාවලින් අනාවරණය වන බවයි. නියාමනයකින් තොරව නිෂ්පාදනය කරන රූපලාවණ්‍ය ආලේපන භාවිතයෙන් සෞඛ්‍ය සංකූලතා වාර්තා වීම ඉහළ ගොස් ඇති බවයි. එහිදී අදහස් දක්වමින් කොළඹ ජාතික රෝහලේ චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට මහත්මිය පැවසුවේ මතුවන සංකූලතා අතර සමේ තැන තැන සුදු පැල්ලම් ඇතිවීම, මුහුණ රතු වීම, සමේ යට තියෙන රුධිර වාහිනී පැහැදිලිව පෙනෙන තත්ත්වය දක්වා සම තුනී වීම, දිලීර බැක්ටීරියා ආසාදන සහ කුරුලෑ ආදිය දැකිය හැකි බවයි.
වෛද්‍ය ඉන්දිරා කහවිට මහත්මිය මෙසේද පැවසුවාය.
“මිල අඩු ක්‍රීම් බොහොමයක් භාවිත කරන්නේ ගෙවල්වල ක්‍රීම් හදන අයගෙන් ලබාගන්නා නිෂ්පාදන. ආලේපනයක් නිසා ගැටලුවක් ඇතිවෙලා මගේ ළඟට ප්‍රතිකාර ගන්න පැමිණි අඩුම වයසක කෙනා අවුරුදු 9 ක දරුවෙක්. අවුරුදු 15 ක දරුවෙක් මම දැක්කා වසර තුනක් පුරා ක්‍රීම් භාවිත කරලා ශරීරය පුරාම පැල්ලම්. ඒ පැල්ලම් යවන්න අමාරුයි. සුදු හමෙන් පිළිකා ඇතිවීමේ අවදානම වැඩියි. චර්මගත පිළිකාවලින් අපේ රට ආරක්ෂා වෙලා තියෙන්නේ දුඹුරු සම නිසා. අපි දුඹුරු සමක් සහිතව පාරජම්බුල කිරණ සහිත ඉර එළියේ ඉන්නවා කියන්නේ අපිට ඒක කිසිම ගැටලුවක් වෙන්නේ නෑ. දුඹුරු හම සුදු කළාම අපිට ඒ අවදානම වැඩියි.” යැයි ද වෛද්‍ය කහවිට මහත්මිය අදහස් දක්වමින් පැවසුවාය.
රිජ්වේ ආර්යා ළමා රෝහලේ චර්මගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ශ්‍රියානි සමරවීර මහත්මිය පැවසුවේ දැනට වෙළෙඳපොළේ තිබෙන වෛද්‍ය ප්‍රමිතීන්වලට ලියාපදිංචි රූපලාවණ්‍ය ආලේපන මොනවාද කියා දැන ගැනීමට අවශ්‍ය නම් එය ඕනෑ කෙනකුට ඖෂධ නියාමන අධිකාරියේ වෙබ් අඩවියේ ලැයිස්තුවෙන් පරීක්ෂා කරගැනීමට පහසුකම් සලසා දී ඇති බවයි. ලෝකයේ කිසිම රටක ප්‍රමිතියෙන් තොර නිෂ්පාදනය කරන රූපලාවණ්‍ය ආලේපනවලට අවසරයක් නැත. ප්‍රමිතිය සම්බන්ධයෙන් ඇතිවන ගැටලුව නිසා ලෝකයේම ප්‍රමිතියෙන් තොර නිෂ්පාදනය කරන රූපලාවණ්‍ය ආලේපන තහනම් කර තිබේ. ප්‍රමිතියෙන් තොර රූපලාවණ්‍ය නිෂ්පාදනය නියාමනය කළ නොහැකිද? මේ සම්බන්ධයෙන් අප කළ සොයා
බැලීමේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙනුයේ නීති විරෝධී ආලේපන තහනම් කිරීමට දැනට තිබෙන නීති ප්‍රමාණවත් නැති බවයි.
ඔහු වැඩිදුරටත් මෙසේද පැවසුවේය.
“ප්‍රමිතියෙන් තොර ආලේපන ගණනාවක් රටට ගෙනත් බෙදා හරිනවා. ගෙවල්වල කුස්සිවලත් ආලේපන නිෂ්පාදනය කරනවා. ආලේපන මිශ්‍ර කරන්නේ කුස්සියේ බ්ලෙන්ඩරයේ. මේවා ජනතාවගේ ජීවිත එක්ක කරන බරපතළ සෙල්ලම්. අනෙක් කාරණය වර්තමානය වෙද්දී රූපලාවණ්‍ය සම්බන්ධයෙන් හතු පිපෙන්නාක් මෙන් විවිධ පාඨමාලා ඇවිත් තියෙනවා. දවසට දෙකට මාසෙට පාඨමාලා පවත්වා උපාධි ප්‍රදානෝත්සව පවා පවත්වනවා. රටේ බලධාරීන් මේවාට ක්‍රියාමාර්ග ගන්න ඕනෑ” යැයි ද වෛද්‍ය චමිල විජේසිංහ මහතා දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් පැවසුවේය.
මේ සම්බන්ධයෙන් වැඩිදුර විමසීමට කොළඹ 7 පිහිටි චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ බලධාරියකු සම්බන්ධ කරගැනීමට ගත් උත්සාහය ව්‍යර්ථ විය.
ප්‍රමිතියෙන් තොර රූපලාවණ්‍ය ආලේපනවලින් මිනිස් ජීවිතයට වන හානිය අති විශාලය. මෙකී ප්‍රමිතියෙන් තොරව රූපලාවණ්‍ය ආලේපන භාවිතයෙන් පීඩාවට ලක් වී සිටින කාන්තාවෝ ද මේ මිහිපිට ඕනෑ තරම් සිටිති. මෙරට ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් මෙරට බලධාරීන් වැඩි අවධානයක් යොමු කිරීම කාලෝචිත බව පමණක් අපි අවසාන වශයෙන් සටහන් කරමු.
• සසංක චලන ගිම්හාන