Home Local News බංගලාදේශ අරගලකරුවෝ හතුරුසිංහ එලවා දමති..

බංගලාදේශ අරගලකරුවෝ හතුරුසිංහ එලවා දමති..

0

බංග්ලාදේශ ක්‍රිකට් සභාපති ෆාරුක් අහමඩ් මහතා විසින් තම ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා නොබෝ දිනකින්ම තනතුරෙන් ඉවත්කරන බව ප්‍රසිද්ධියේම ප්‍රකාශ කරයි.

චන්දික හතුරුසිංහගේ පුහුණුකරු භූමිකාව දැඩි ලෙස විවේචනය කළ බංග්ලාදේශ ක්‍රිකට් සභාපතිවරයා පවසන්නේ බංග්ලාදේශ පිල අතීතයේ ලැබූ සාර්ථකත්වය සාමුහිකත්වය මත ගොඩනැගුණු එකක් බවත්, හතුරුසිංහ මැජික්කාරයෙකු නොවන බවත්ය.

බංග්ලාදේශයේ ඇතිවූ අරගලකාරී තත්ත්වය මත හිටපු ක්‍රිකට් සභාපති නස්මුල් හසන් මහතා ඉල්ලා අස්වූ අතර, හිටපු ක්‍රිකට් ක්‍රීඩක සහ තේරීම් කමිටු ප්‍රධානියා ලෙස කටයුතු කළ ෆාරුක් අහමඩ් මහතා මෙයට සතියකට පමණ පෙර බංග්ලාදේශ ක්‍රිකට් සභාපතිවරයා ලෙස පත්වීම ලබා ගත්තේය.

නව සභාපතිවරයා සිය පළමු මාධ්‍ය හමුවේදී අවධාරණය කළේ චන්දික හතුරුසිංහ තවදුරටත් බංග්ලාදේශයේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු නොකළ යුතු බවයි. චන්දික හතුරුසිංහ හා බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය අතර ඇති ගිවිසුම අනුව ඔහු 2025 චැම්පියන් කුසලාන තරගාවලිය දක්වා කටයුතු කළ යුතු වුවද, සභාපතිවරයාගේ අදහස අනුව ඔහු ඉදිරි දින කිහිපයේදී තනතුරෙන් ඉවත් විය යුතු බවය.

වසර 2017දී හතුරුසිංහ බංග්ලාදේශ ක්‍රිකට් පිල අමාරුවේ දමා හදිසියේම පිටත්ව ගොස් ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු වූ බව ක්‍රිකට් සභාපතිවරයා සිහිපත් කළේය.

“ඔහු ආපසු ගෙන එන්න කටයුතු කළ බංග්ලාදේශයේ ක්‍රිකට් ආයතන නිලධාරීන් හිතුවේ ඔහු මැජික්කාරයෙක් කියලා. ක්‍රිකට් කියන්නේ මැජික් වැඩක් නොවෙයි. බංග්ලාදේශ ක්‍රිකට් යම් සාර්ථකත්වයකට පත්වූවා නම් එතැන ක්‍රීඩකයින්, පුහුණුකරුවන්, තේරීම් කමිටුව හා පාලක මණ්ඩලය සිටියා. ඒ නිසා මේක සාමුහික ක්‍රියාවලියක්. හතුරුසිංහ බංග්ලාදේශ ක්‍රිකට් පුහුණුකරු ලෙස සිටීමට කිසිම හේතුවක් නෑ. ඔහු නෙරපීමෙන් යම් මුදලක් අහිමි වෙනවා. නමුත් ඔහු පැමිණීමෙන් එයට වඩා හානියක් වුණා“ බංග්ලාදේශ ක්‍රිකට් සභාපතිවරයා පැවැසීය.

2016දී හතුරුසිංහ බංග්ලාදේශ ක්‍රිකට් පුහුණුකරු බවට පත්වීමෙන් අනතුරුව ඇතිවූ අර්බුදයක් මත තේරීම් මණ්ඩලයේ එවක සභාපති වූ ෆාරුක් අහමඩ් එම තේරීම් කමිටු ධුරයෙන් ඉල්ලා අස්විය.

ප්‍රින්ස් ගුණසේකර

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version