Home Local News මෙරට ඉතිහාසයේ පළමු වතාවට, ලයින් කාමර ජනතාවට ගම්මානයක්!

මෙරට ඉතිහාසයේ පළමු වතාවට, ලයින් කාමර ජනතාවට ගම්මානයක්!

0

මෙරට ඉතිහාසයේ පළමු වතාවට ලයින් කාමරවල වාසය කරන ජනතාවට ගම්මානයක ජීවත්වීමේ අයිතිය හිමි කර දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඒ වෙනුවෙන් වැවිලි සමාගම්වලට බදු දී තිබෙන ලයින් කාමර පිහිටි ඉඩම්වල බදු ගිවිසුම් අහෝසි කර එම ඉඩම් නැවත රජයට පවරා ගැනීමට කටයුතු කරන බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ව්‍යාපාරිකයන් සමඟ ඊයේ (10) පැවති හමුවකට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටියා.

එම ජනතාවට ඉඩම් අයිතිය ලබාදී, නිවාස ඉදිකර ගැනීමට ද රජයේ සහාය ලබා දෙන බව පැවසු ජනාධිපතිවරයා ඒ ආශ්‍රිත ප්‍රදේශවල ක්‍රිඩාපිටි වැනි පොදු ස්ථාන ඇති කළ හැකි ඉඩම් ද රජයට පවරා ගැනීමට කටයුතු කරන බවයි ප්‍රකාශ කළේ.

නුවරඑළිය ව්‍යාපාරික ප්‍රජාව මුහුණ දී සිටින ගැටළු පිළිබඳව ද එහිදී ජනාධිපතිවරයාව දැනුවත් කෙරුණු අතර ප්‍රදේශයේ සංවර්ධනයට අදාළ යෝජනා රැසක් ද ඔවුන් විසින් ඉදිරිපත් කරනු ලැබුවා.

රට ආර්ථික අර්බුදයෙන් මුදවා ගනිමින් නිවැරදි වැඩපිළිවෙළක් ඔස්සේ ඉදිරියට ගෙන යන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි ජනාධිපතිවරණයේ දී පූර්ණ සහාය ලබාදෙන බවට නුවරඑළිය දිස්ත්‍රික් ව්‍යාපාරික ප්‍රජාව විසින් එහිදී සහතික වී තිබෙනවා.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, එක්සත් ජාතික පක්ෂ මස්කෙළිය ආසන සංවිධායක කේ. කේ. පියදාස, හිටපු පළාත් සභා මන්ත්‍රී ඩබ්ලිව්. ජී. රණසිංහ, හැටන්- දික්ඔය හිටපු නගරාධිපති එස්. බාලචන්ද්‍රන්, හැටන් වෙළඳ සංගමයේ ලේකම් එස්. සෝමසුන්දරම් යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ නුවරඑළිය දිස්ත්‍රික් විද්වත් වෘත්තිකයන් අතර හමුවක් ද ඊයේ (10) නුවරඑළියේ දී පවත්වා තිබුණා.

ප්‍රකෘතිමත් වෙමින් පවතින මෙරට ආර්ථිකය ආපසු හැරවීමට ඉඩ දිය නොහැකි බව මෙහිදී පැවසු නුවරඑළිය දිස්ත්‍රික් විද්වත් වෘත්තිකයන් ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමට කැපවීම රටට ආදරය කරන සියලුදෙනාගේ වගකීම බව පෙන්වා දුන්නා.

එහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ කඳුකරයේ ද්‍රවිඩ ජනතාවට සමාජ සාධාරණත්වය ඉටු කිරීම වෙනුවෙන් වු සම්මන්ත්‍රණයක් ලබන වසරේ ජනවාරි හෝ පෙබරවාරි මාසයේ දී කැඳවන බවයි.

රජය විසින් ඉදිරියේ දී ඇති කිරීමට නියමිත සමාජ සාධාරණත්ව කොමිසම මඟින් ද කඳුරයේ දෙමළ ජනතාවගේ සමාජ ප්‍රශ්න පුළුල් ලෙස විමසා බැලීමට අවස්ථාව ලැබෙනු ඇති බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළා.

ඡායාරූප👇🏻

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version