Home Local News තරුණ තරුණියන්ට සුභ ආරංචියක්!

තරුණ තරුණියන්ට සුභ ආරංචියක්!

0

තරුණ තරුණියන්ට රැකියා ලබාදීමේ වැඩපිළිවෙළ ලබන වසරේ සිට ආරම්භ කරන බවත් රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ ද නව රැකියා අවස්ථා ඔවුන් වෙනුවෙන් උදාකරදීම තම අරමුණ බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර තිබෙනවා.

කොවිඩ් වසංගතය සහ ආර්ථික කඩා වැටීම හමුවේ ඉකුත් වසර 04 පුරා මෙරට තරුණ තරුණියන්ට රැකියා ලබාදීමට නොහැකි වූ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රට බංකොළොත්භාවයෙන් නිදහස් කර ගැනීමත් සමඟ නව රැකියා අවස්ථාවන් බිහි කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් රට ඉදිරියට ගෙන යාමේ අවස්ථාව උදා වී ඇති බවයි කියා සිටියේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ යාපනය වාලම්පූරි හෝටලයේ පැවති තරුණ හමුවට එක් වෙමින්.

“දීප්තිමත් අනාගතයත් සඳහා වූ ගමනක්” මැයෙන් සංවිධානය කර තිබු මෙම හමුවට යාපනය දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් විශාල පිරිසක් එක්ව සිටීම විශේෂත්වයක්.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, තරුණ තරුණියන්ගේ අපේක්ෂාවන් රජය කිසිවිටෙකත් අමතක කර නොමැති බවයි.

මූල්‍ය ගැටලු හමුවේ වුවද ගුරු පුරප්පාඩු පිරවීම වෙනුවෙන් මේ වසරේ රජය මුදල් වෙන් කළ බව සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගුරුවරුන් බඳවා ගැනීම වෙනුවෙන් ලබන වසරේ වැඩි මුදලක් ලබා දීමට කටයුතු කරන බවද කියා සිටියා.

එමෙන්ම ස්වයං රැකියාවල නිරත වීමට කැමති තරුණ තරුණියන් වෙනුවෙන් සහනාධාර ණය ක්‍රමයක් හඳුන්වා දී තිබෙන බවත්, කෘෂි නවීකරණ වැඩපිළිවෙළ සමඟ සම්බන්ධ වෙමින් ඉදිරියට යාමට ද තරුණ තරුණියන්ට අවස්ථාවට උදාකර දෙන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

තරුණ තරුණියන් ඉදිරිපත් කළ ප්‍රශ්න කිහිපයකට ද මෙහිදී සාධනීය පිළිතුරු ලබා දුන් ජනාධිපතිවරයා ඔවුන්ගේ තොරතුරු විමසමින් සුහද කතා බහකට එක්වීමට ද අමතක කළේ නැහැ.

මෙහිදී තරුණයෙකු මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේ, ඉදිරියේ දී පෞද්ගලික අංශයේ රැකියා සඳහා බඳවා ගැනීමේ දී පළපුරුද්ද පිළිබඳ නොතකා එම බඳවා ගැනීම් සිදු කරන ලෙස පෞද්ගලික අංශයෙන් ඉල්ලා සිටීමට කටයුතු කරන බවයි.

උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාර්ල්ස් , රාජ්‍ය අමාත්‍යවරුන් වන ආචාර්ය සුරේන් රාඝවන්, කාදර් මස්තාන් , පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන්, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, හිටපු අමාත්‍ය රවී කරුණානායක , හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version