Home Uncategorized කවුද මේ කසකාර චමිඳු!

කවුද මේ කසකාර චමිඳු!

0

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් (එල්.පී.එල්.) තරගාවලියේ පස්වැනි අදියර මේ වන විට පැවැත්වෙමින් තිබේ. වාණිජ පදනමක් මත මෙම තරගාවලිය පැවැත්වුණද නව ක්‍රීඩකයන් හඳුනා ගැනීම ලීග් තරගාවලිවල ප්‍රධාන අරමුණකි.

ඉන්දියාව අයි.පී.එල්. තරගාවලිය ඔස්සේ හඳුනාගත් ක්‍රීඩකයන් විස්සකට, තිහකට ආසන්න සංඛ්‍යාවක් ජාතික කණ්ඩායමේ ක්‍රීඩා කරවා ඇති අතර ඉන්දියාව ඒ හරහා එරට ක්‍රිකට් ක්‍රීඩාවට මුදල්වලට එහා ගිය ආයෝජනයක් එකතු කර තිබේ.
ශ්‍රී ලංකාව මේ දක්වා එල්.පී.එල්. තරගාවලි හතරක් පවත්වා තිබුණ ද ඒ හරහා ඍජුවම සොයාගත් ක්‍රීඩකයකු නැති තරම්ය. කෙසේ වෙතත් මෙවර තරගාවලියේ පළමු තරගයේදීම ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීමේ සුදුසුකම් ප්‍රදර්ශනය කළ ක්‍රීඩකයෙක් කරළියට පැමිණියේය. 

මෙවර තරගාවලිය ආරම්භ කරමින් දඹුල්ල සික්සර්ස් පිල සහ කැන්ඩි ෆෝල්කන්ස් පිල අතර තරගයේ පළමු ඉනිමේදී ශ්‍රී ලංකාවට සුබ පෙරනිමිති පළ විය. පළමුව පන්දුවට පහර දුන් දඹුල්ල සික්සර්ස් පිලේ පළමු කඩුලු හතර ලකුණු 25 ක් තුළ බිඳ වැටීමෙන් පසුව නවසීලන්ත ක්‍රීඩක මාක් චැප්මන් (නොදැවී 91) සහ යොවුන් පිතිකරු චමිඳු වික්‍රමසිංහ (නොදැවී 62) පස්වැනි කඩුල්ලට ලකුණු 154 ක නොබිඳුණු සම්බන්ධතාවක් පවත්වමින් දඹුල්ල ලකුණු සංඛ්‍යාව 179 ක් දක්වා රුගෙන ඒමට සමත් වූහ.

එහිදී චමිඳු වික්‍රමසිංහ කිසිදු ආධුනික බවක් ප්‍රදර්ශනය නොකර පන්දුවට පහර දුන් ආකාරය කැපී පෙනුණි. චමිඳු එහිදී පන්දු 42 කින් හතරේ පහර 4 ක් සහ හයේ පහර 3 ක් සමඟින් නොදැවී ලකුණු 62 ක් රුස් කිරීමට සමත් විය. ලෝක විස්සයි20 ක්‍රිකට් පිටියේ පන්දු යවන්නන් අතර පළමු ස්ථානයේ සිටි වනිඳු හසරංගට එහිදී චමිඳු හයේ පහර ගැසූ ආකාරයෙන් ඔහු ජාතික කණ්ඩායමේ හිඩැසක් පිරවීමට හැකි යැයි ප්‍රදර්ශනය කළේය.

විසිඑක් හැවිරිදි වමත් පිතිකරු චමිඳු, දකුණතින් වේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයෙකි. ශ්‍රී ලංකා පිලේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්ගෙන් පසුව ඔහුගේ ස්ථානයට ගැනීමට චමිඳු සූදානම් කළ හැකි යැයි ක්‍රිකට් ප්‍රවීණයෝ පවසති.
කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහලේ ආදි ක්‍රිකට් ක්‍රීඩකයකු වන චමිඳු වික්‍රමසිංහ වසර හතරක පමණ කාලයක් ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෙකි. ඔහු මෙරට ප්‍රධානතම ක්‍රිකට් සමාජයක් වන එස්.එස්.සී. කණ්ඩායම නියෝජනය කරයි.

“මගේ ඉලක්කයත් ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමයි. මම ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම් නියෝජන කර තියෙනවා.” චමිඳු පැවසීය.

විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී කණ්ඩායමේ ස්ථානය අහිමිවූ කුසල් ජනිත් පෙරේරා පසුගිය බදාදා ජැෆ්නා පිලට එරෙහිව ලකුණු 102 ක් රුස්කිරීම සහ අවිශ්ක ප්‍රනාන්දු එම තරගයේදීම පන්දු 34 කින් ලකුණු 80 ක් රුස්කිරීම කැපී පෙනුණි.
තවද මෙවර එල්.පී.එල්. තරගාවලිය විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ අසාර්ථක වූ වනිඳු හසරංග ඇතුළු ක්‍රීඩකයන්ට විරෝධය දැක්වීමේ මාධ්‍යයක් ලෙස මෙරට ප්‍රේක්‍ෂකයන් යොදාගැනීම කැපී පෙනේ. පළමු තරගයේදී කැන්ඩි ෆෝල්කන්ස් පිලේ නායක වනිඳු හසරංගට ප්‍රේක්‍ෂකයන් විරෝධය පළ කළ බව වාර්තා වේ. එම තරගයේ වනිඳු පන්දු රකිමින් සිටියදී හතරේ සීමාව අසලට පැමිණි ප්‍රේක්‍ෂකයකු වනිඳුට දොස් නගා ඇති බවද වාර්තා වෙයි. වනිඳු හසරංග එම තරගයේදී පන්දු රකින්නකුට කළ ප්‍රකාශයක් පසුගිය දිනවල සමාජ මාධ්‍යවල දැඩි විවේචනයට මෙන්ම හාස්‍යයට ලක්ව තිබුණි.  

මෙවර එල්.පී.එල්. තරගාවලිය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්‍ෂකයන් තුළ විශාල උනන්දුවක් ඇති බව ප්‍රදර්ශනය වන අතර තරගාවලියේ තවත් තරග රුසක් මෙම සතියේ පැවැත්වීමට නියමිතය.  

•   සටහන: යොහාන් භාසුර | www.deshaya.lk

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version