Home Local News ලිපිකාරිනිය සිපගත් 59 හැවිරිදි මානව සම්පත් කළමනාකරු අවුරුදු 7ක් හිරේ!

ලිපිකාරිනිය සිපගත් 59 හැවිරිදි මානව සම්පත් කළමනාකරු අවුරුදු 7ක් හිරේ!

0

ලක්ෂ 7 1/2 වන්දියක් හා රුපියල් 75,000ක දඩයක් ගෙවීමටත් නියෝග
තමන් යටතේ සේවය කළ තරුණ ලිපිකාරිනියගේ අකැමැත්ත නොතකා අවස්ථා තුනකදී ඇයව අයුතු ලෙස ස්පර්ශ කිරීම, ඇයගේ දෙතොල් හා මුහුණ සිප ගැනීම හා ඇයව වැලඳ ගැනීම යන චෝදනා තුනට වරදකරු කරනු ලැබූ ප්‍රධාන පෙළේ ඉහළ නිලධාරියකු වන 59 හැවිරිදි විවාහකයකුට අභියාචනාධිකරණය පෙරේදා (24දා) බරපතළ වැඩ සහිත වසර හතක සිරදඬුවම් නියම කළේය.

එයට අමතරව වින්දිත තරුණියට රුපියල් හත්ලක්ෂ පනස් දහසක වන්දියක් ගෙවන ලෙසට ද විත්තිකරුට නියම කළ, සම්පත් බී. අබේකෝන් හා පී. කුමාරරත්නම් යන විනිසුරු මඬුල්ල විත්තිකරුට රුපියල් 75,000ක දඩයක් ද නියම කළේය.

එම වන්දිය හා දඩය නොගෙවන්නේ නම් අමතර වසර දෙකහමාරක සිරදඬුවම් විත්තිකරුට ලබාදීමට විනිසුරු මඬුල්ල නියම කළේය. ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන පෙළේ පෞද්ගලික ආයතනයක මානව සම්පත් කළමනාකරුවකු ලෙස සේවය කරන පුද්ගලයකුට අභියාචනාධිකරණය එම දඬුවම් නියම කළේය. එම විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් මෙයට වසර 14කට පමණ පෙර ත්‍රිකුණාමලය මහාධිකරණය හමුවේ පවරා තිබූ අතර එම නඩුව විභාග කළ මහාධිකරණය විත්තිකරු චෝදනා තුනෙන්ම නිදොස් කොට නිදහස් කරමින් තීන්දුවක් ලබාදී තිබිණි.

2015.9.16 වැනිදා ත්‍රිකුණාමලය මහාධිකරණය විසින් ලබාදී තිබූ එම තීන්දුවට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබූ ප්‍රතිශෝධන පෙත්සමක් විභාග කළ අභියාචනාධිකරණය මහාධිකරණය විසින් නිකුත් කර තිබූ තීන්දුව බලරහිත කරමින් විත්තිකරුට එම දඬුවම් නියම කළේය.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් ජයවීර මහත්මිය නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියාය.

ඒ.ජේ.ඒ. අබේනායක

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version