Home Local News කුලී නිවෙස් බද්දක් – අලුත්ම බදු යෝජනාව මෙන්න!

කුලී නිවෙස් බද්දක් – අලුත්ම බදු යෝජනාව මෙන්න!

0

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායම ඉහළ නැංවීමේ පියවරක් වශයෙන් 2025 අප්‍රේල් 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි පදිංචිව සිටින සහ හිස්ව තිබෙන නේවාසික දේපොළ සඳහා ආරෝපිත කුලී ආදායම් බද්දක් හඳුන්වාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යෝජනා කර තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා වන සිව් අවුරුදු විස්තීර්ණ මූල්‍ය පහසුකම් වැඩසටහනේ දෙවන සමාලෝචනයෙන් අනතුරුව IMF Country Report 24/161 වාර්තාව ප්‍රකාශයට පත් කෙරුණා.

එවැනි බද්දක් හඳුන්වා දීමේ වැදගත්කම එම වාර්තාවෙහි දැක්වෙනවා.

රජයේ ආදායම ඉහළ දැමීම සඳහා මෙවැනි බද්දක් හඳුන්වා දීම ඉතා වැදගත් බවත් මෙම බදු ක්‍රමය 2026 වසර වනවිට සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව ඉලක්ක කරගෙන ඇති බව ද එම වාර්තාවේ සඳහන්.

ආරෝපණය කළ කුලී ආදායම් බද්දක් යනු නිවසක හිමිකරුවෙකු සිය නිවස කුලියට ලබාදුන්නේ නම් ඔහුට හෝ ඇයට ලබාගත හැකි ආදායම ඇස්තමේන්තු කර ඒ සඳහා බදු මුදලක් අය කිරීමයයි.

මෙම බද්ද නිවසේ වටිනාකම මත නොව ඉන් ලැබිය හැකි අදායම මත පදනම් වනවා.

මෙම බදු ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා පළාත් පාලන ආයතන මට්ටමින් දත්ත ගබඩාවක් පිහිටුවීමට ශ්‍රී ලංකාව අවධානය යොමු කළයුතු බවත් එම දත්ත ගබඩාවට මෙරට දේපොළ හිමියන් සතුව ඇති දේපොළ සම්බන්ධයෙන් යාවත්කාලීන කළ ඇස්තමේන්තුවක් ඇතුළත් විය යුතු බවත් දත්ත ගබඩාව නිර්මාණය කිරීම මෙම වසරේ අගෝස්තු මාසය වන විට අවසන් විය යුතු බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙයි.

මීට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් හඳුන්වාදීමට සූදානම් වූ දේපොළ බදු සහ තෑගි හා ප්‍රවේණි බදු ක්‍රමය ක්‍රියාවට නැංවීම විවිධ ව්‍යවස්ථාමය සීමාකම් හේතුවෙන් ප්‍රමාදවීම හේතුකොට ගෙන මෙලෙස නව ‘ආරෝපිත කුලී ආදායම් බද්දක්‘ හඳුන්වාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පියවර ගෙන ඇත.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version