Home Local News බලපත්‍ර 286කින් හොර බෙහෙත් ගෙනා කොම්පැනිය කාගේද?

බලපත්‍ර 286කින් හොර බෙහෙත් ගෙනා කොම්පැනිය කාගේද?

0

ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචියෙන් තොරව සහ එම ආයතනයෙන් බලපත්‍රයක් ලබා නොගෙන ඖෂධ නිෂ්පාදනය සහ ආනයනය තහනම් වුවත් ලියාපදිංචියෙන් නිදහස් කර ඖෂධ සැපයීමට විශේෂ බලපත්‍ර 286ක් පසුගිය කාලයේ එක්තරා පෞද්ගලික සමාගමක් වෙත ඖෂධ නියාමන අධිකාරියේ බලධරයන් විසින් නිකුත් කර තිබිණි. රජයේ විගණකාධිපතිවරයා පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම්කාරක සභාව වෙත ඉදිරිපත් කළ නවතම වාර්තාවෙහි මේ බව සඳහන්ය.

මෙකී බලපත්‍ර 286 න් 38ක් යටතේ වෛද්‍ය සැපයුම් අංශයට අදාළ පෞද්ගලික සමාගම විසින් සපයා තිබූ ඖෂධ වර්ග කිසිදු විධිමත් පරීක්ෂාවකට හෝ අගැයීමකට ලක් කර නැති බවද අදාළ වාර්තාවෙහි දැක්වෙයි. එසේම මෙලෙස රට පුරා රෝහල්වලට සපයන ලද ඖෂධවල ගුණාත්මක බව, ආරක්ෂාකාරී බව සහ ප්‍රත්‍යක්ෂ බව පිළිබඳව ඖෂධ නියාමන අධිකාරිය වග නොකියන බවද එහි සඳහන්ය. එසේම මෙම ඖෂධ භාවිතය සම්බන්ධ වගකීම වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ විසින් බාරගත යුතු යැයි ඖෂධ නියාමන අධිකාරිය විශේෂ කොන්දේසියක්ද පැනවූ බව විගණන වාර්තාවෙහි දැක්වෙයි.

මෙලෙස ඖෂධ නියාමන අධිකාරිය සිය වගකීම අත්හැර දැමීම බරපතළ ගැටලුවක් බව විගණකාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.

වසංගත රෝගයක් වැළැක්වීම, ජාතික ආරක්ෂාව වැනි ඉතාමත් විශේෂිත අවස්ථාවකදී හදිසි ඖෂධ සැපයුමක් සඳහා ලියාපදිංචියෙන් නිදහස්ව ක්‍රියා කිරීමට ඖෂධ නියාමන අධිකාරි පනත අනුව අවසරය ඇත. එහෙත් එම අවසරය භාවිත කොට එක්තරා පෞද්ගලික සමාගමකට මෙලෙස ඖෂධ සැපයීමේ නිදහස් බලපත්‍ර 286ක් නිකුත් කිරීමත් එම ඖෂධවල ප්‍රමිතිය තහවුරැ කර නොතිබීමත් ගැටලු සහගත බව විගණන වාර්තාවෙහි විශේෂයෙන් දැක්වෙයි.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version