“9 වන දා ප්‍රචණ්ඩ ක්‍රියා” සැක පිට ගත්ත 230 මෙන්න!

මැයි 9 වන දා දිවයින පුරා ප්‍රදේශවල ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් 230 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, එදින වාහන සහ නිවෙස්වලට අලාභ හානී සිදු කිරීම, ගිනි තැබීම් අදී සිද්ධීන් 707ක් පමණ වාර්තා වී ඇති බව ය.

ඒ අනුව, මෙම සිද්ධීන්වලට සම්බන්ධ 230 දෙනෙකු මෙලෙස සැකපිට අත්අඩංගුවට ගෙන ඇතැයි ඔහු පැවසීය.

එම සැකකරුවන්ගෙන් 68 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර අනෙක් සැකකරුවන් අද (මැයි 15) දිනයේදී අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

ඔහු සඳහන් කළේ, අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර බස්නාහිර පළාතේ 71 දෙනෙකු, දකුණු පළාතේ 43 දෙනෙකු, මධ්‍යම පළාතේ 17 දෙනෙකු, වයඹ පළාතේ 36 දෙනෙකු, උතුරු මැද පළාතේ 47 දෙනෙකු, සබරගමුව පළාතේ 13 දෙනෙකු, ඌව පළාතේ දෙදෙනෙකු සහ උතුරු පළාතේ එක් සැකකරුවෙකු සිටින බව ය.

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වමින් සිටින බව ත් ඒ පිළිබඳව නීතිපතිවරයා අධීක්ෂණය කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරට ත් සඳහන් කළේ ය.

Leave a Reply

Your email address will not be published.