21 සදහා යෝජනා අද පළමු කැබිනට් රැස්වීමට!

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වන සංශෝධන කෙටුම්පත සකස් කිරීම සඳහා දේශපාලන පක්ෂ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති යෝජනා අද රැස් වන පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින්.

ඉකුත්දා පත් කෙරුණු නව අමාත්‍ය මණ්ඩලයේ පළමු රැස්වීම අද පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය සහ ආණ්ඩුවෙන් ස්වාධීන වූ මන්ත්‍රි කණ්ඩායම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වන සංශෝධනය සකස් කිරීම සඳහා සිය පක්ෂවල යෝජනා ඉකුත්දා භාරදෙනු ලැබුවේ කතානායකවරයා වෙතයි. ඉන් අනතුරුව එම යෝජනා කැබිනට් මණ්ඩලය වෙත යොමු කිරීම සඳහා කතානායකවරයා විසින් අග්‍රාමාත්‍යවරයා වෙත යොමු කර තිබෙනවා.

කැබිනට් මණ්ඩලයට යොමු කරන එම යෝජනා සඳහා අනුමැතිය ලැබීමෙන් පසුව 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සකස් කිරීමේදි පාදක කර ගැනීම සඳහා නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමට නියමිතයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වන සංශෝධනය කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටයි තීරණය වී ඇත්තේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනය අහෝසි කර 19 වන සංශෝධනයේ අඩුපාඩු මගහරවා ගනිමින් සාධනීය වෙනස්කම් සහිතව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වන සශෝධනය ලෙස ගෙන ඒමට ඉකුත්දා පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින් සිය එකඟතාවය පළ කළා.

මේ අතර ලබන 28 වනදා පක්‍ෂ නායක රැස්වීමක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු පිළිබද එහිදී තීරණය කිරීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published.