Noize News 

මියන්මාර පාලනය හමුදාව අතට-අවුන් සාන් සුකී රැඳවුම් භාරයට

අසල්වැසි මියැන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදී ගමන ආපසු හරවමින් මියැන්මාර හමුදාව එරට පාලන බලය අල්ලා ගෙන තිබෙනවා. සඳුදා මහ පාන්දර ජනතාව කඩපිලට බහින විට මේ හමුදා කුමන්ත්‍රණය සිදුවී හමාරයි. උදෑසනින්ම රූපවාහිනියෙන් පෙනී සිටි හමුදා ප්‍රකාශකයා පැවසුවේ තම රටේ පාලන බලය ත්‍රිවිධ හමුදා අණදෙන නිලධාරියාට භාර දී ඇති බවයි. එසේම අවුරුද්දක කාලයකට මුළු රටටම බලපාන පරිදි හදිසි තත්ත්වයක් ප්‍රකාශ කර ඇති බවත් ඔහු කියා සිටියා.

මියැන්මාරයේ පමණක් නොව ලෝකයේම ප්‍රජාතන්ත්‍රවාදයේ අයිකනයක් වූ සුප්‍රසිද්ධ අවුන් සාන් සුකී මැතිණිය හා රජයේ ඉහලම නායකයන් සියළු දෙනා හමුදාව විසින් අත්අඩංගුවට ගෙන රැදවුම් භාරයට පත් කර තිබෙනවා.

පසුගියදා පැවති මැතිවරණයෙන් සුකී මැතිණියගේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන ජාතික ලීගය නැවතත් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලැබුවා. දශක ගණනාවක් එරට පාලන බලය අල්ලා ගෙන සිටි Tatmadaw යනුවෙන් හැඳින්වෙන බලවත් හමුදාව කොහොමත් සුකීගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයට ඒ තරම් මනාපයකින් සිටියේ නැහැ. ඔවුන්ට අවශ්‍යව තිබුණේ හමුදා නායකයන්ගේ රූකඩයක් වූ විපක්ෂය බලයට ගේන්න. ලෝකයෙන් එල්ල වන පීඩනය හමුවේ නිහඬව සිටි බලලෝභී හමුදා නායකයන්ගේ ආතතිය පුපුරා ගියා. මියැන්මාරයේ ළදරු ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුව සඳුදා උදෑසන අවසන් වුණේ එරට නැවතත් ලෝකයෙන් හුදකලා කරමින්.

අවුන් සාන් සුකී යනු වරෙක ලෝක ප්‍රජාතන්ත්‍රවාදයේ සංකේතයක්. තවත් වරෙක ආන්දෝනාත්මක රාජ්‍ය නායිකාවක්. දකුණු අප්‍රිකාවේ නෙල්සන් මැන්ඩෙලාට පසුව දේශපාලන සිරකරුවෙකු ලෙස දීර්ඝතම කාලයක් ගත කරන්නට සිදුවූයේ ඇයට. එරට හමුදා පාලනයට එරෙහිව අරගල කළ ඇය අවුරුදු 15 ක් නිවාස අඩස්සියේ රඳවා තිබුණා. ලෝක නායකයන් විසින් දිගින් දිගටම ඇයව නිදහස් කරන ලෙස මියැන්මාර හමුදවට බලපෑම් කළා. එරටට සම්බාධක පවා පනවා තිබුණා.

2010 දී අවුන් සාන් සුකී නිදහස් කෙරුණා. වසර 5කට පසු එනම් 2015 දී පැවති මැතිවරණයෙන් සුකීගේ ප්‍රජාතන්ත්‍රවාදී ලීගය ජයග්‍රහණය කළා. අඩසියවසක මිලිටරි රෙජීමය නිමා කරමින් මියැන්මාරයට ප්‍රජාතන්ත්‍රවාදයේ අරුණළු උදාවුණා.

එකී මැතිවරණයට කළින්ම ජෙනරාල් තීන් සේන් යටතේ අර්ධ සිවිල් ආණ්ඩුවක් ස්ථාපිත වුණත් බලය අතහැරීමට හමුදාවට තිබුණු නොකැමැත්ත ඒ යුගයේ පවා පිළිබිඹු වුණා. අනාගත සිවිල් රජයක වුවත් හමුදා බලය පවත්වා ගැනීමට අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධන ඇතිකර ගැනීමට තීන් සෙන්ගේ අර්ධ සිවිල් ආණ්ඩුව උත්සක වුණා. ආරක්ෂක හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශ හමුදාව යටතේ රඳවා ගැනීමටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනයට ගන්නා ඕනෑම උත්සාහයක් ව්‍යවර්ථ කිරීමට අවශ්‍ය නිශේධ බලය රඳවා ගැනීමටත් අවසන් හමුදා පාලනය කටයුතු කළා.

අවුන් සාන් සුකී මැතිණිය 2015 දී මියැන්මාරයේ රජයක් පිහිටෙව්වා. නමුත් ඇයට එරට ජනාධිපති වීමට මිලිටරි ව්‍යවස්ථාව බාධාවක් වුණා. රාජ්‍ය උපදේශක නිලයට පත් වූ ඇය නිල නොලත් රාජ්‍ය නායිකාව ලෙස සැළකුණා. ඇය දැරූ රාජ්‍ය උපදේශක තනතුර ජනාධිපතිවරයා අභිබවා යමින් රාජ්‍ය පාලනයේ බලවත්ම තනතුර ලෙස ස්ථාපිත වුණා.

කෙසේ නමුත් බලයට පත් වීමෙන් පසු සුකී මැතිණිය ජාත්‍යන්තරයේ විවේචනයට ලක්වුණේ ඇය රෝහින්ග්‍යා මුස්ලිම් වරුන් සම්බන්ධයෙන් දැරූ ස්ථාවරය හේතුවෙන්. බටහිර රඛයින් ප්‍රාන්තයේ ජීවත් වූ සුළු ජනකොටසක් වූ රෝහින්ග්‍යා මුස්ලිම් වරුන්ට එරෙහිව යුද අපරාධ සිදුකරන ලදැයි මියැන්මාර හමුදාවට එල්ල වන චෝදනා ඇය ප්‍රතික්ෂේප කළා. දීර්ඝකාලීන සිවිල් හා මානව හිමිකම් ක්‍රියාකාරිනියක ලෙස ඇයට තිබු ජාත්‍යන්තර කීර්තිය ඒ අනුව අභියෝගයට ලක්වුණා. ඇයට ලැබී තිබුණු නොබෙල් සාම ත්‍යාගය ඇතුළු සම්මාන ආපසු ලබාගත යුතු බවට සංවාදයක් පවා ගොඩනැගුණා. අවුන් සාන් සුකී යනු කිසිවෙකුට අල්ලේ නැටවිය නොහැකි අදීන නායිකාවල ලෙස මියැන්මාර බහුතර ජනතාව පිළිගත්තා. ඒ නිසාම 2020 දී දෙවන වරටත් ඇයගේ පක්ෂය මැතිවරණයෙන් ජයග්‍රහණය කළා.

සුකී මැතිණිය මෙන්ම ජනාධිපති ඇතුළු කැබිනට් සාමාජිකයන් ඔවුන්ගේ නිවාස වල මේ වන විට රඳවා ඇති බව වාර්තා වෙන්වා. සියළුම විද්‍යුත් මාධ්‍ය හමුදාවට පවරා ගෙන ඇති අතර හමුදාවට අයත් Myawaddy TV චැනලය පමණක් ක්‍රියාත්මකව පවතිනවා. එරට අන්තර්ජාල පහසුකම් පවා අත්හිටුවා තිබෙන්නේ සමාජ මාධ්‍ය හරහා ජනතාව සංවිධානය වීම වැළැක්වීමට බවයි පැවසෙන්නේ.

උපුටා ගැනීමකි

Related posts

Leave a Comment