Noize News 

එක් දිනකට එක් මුඛ ආවරණයක් පැළඳීමට අපිට වත්කමක් නැති වේවී – රෝසි කිව්ව කතාව

එක් දිනකට එක් මුව ආවරණයක් පැළඳීමට වත්කමක් නැති ජනතාවට නැවත සෝදා පාවිච්චියට ගත හැකි මුව ආවරණ ලබාදීමට කටයුතු කළ යුතුයි යැයි කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය පවසයි.

කොළඹ මහනගර සභා බල ප‍්‍රදේශයේ ස්ථිර පදිංචිය හිමි ස්වශක්තියෙන් නැගී සිටීමට ප‍්‍රමාණවත් ආදායමක් නොමැති කාන්තා හා පුරුෂ පාර්ශ්වය සඳහා මහන මැෂින් බෙදා දීම කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් හෙන්ද්‍රි පේදිස් ක‍්‍රීඩාංගණයේ දී පැවැති අවස්ථාවේ ඇය එසේ කියා සිටියාය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ නගරාධිපතිනිය මෙසේද කියා සිටියාය.

”අඩු ආදායම්ලාභී පවුල්වල කාන්තාවන්ගේ ජීවනෝපාය මාර්ගය ශක්තිමත් කිරීමට අවශ්‍ය වටා පිටාවක් නිර්මාණය කරලීම කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරයට තරග වැදීමේ දී මම ජනතාවට දුන් පොරොන්දුව. ඒ පොරොන්දුව මල්ඵල ගැන්වීමක් ලෙස කොළඹ නගරයේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා මහන මැෂින් 3980ක් නොමිලේ ලබා දීමට කටයුතු කරනවා. මහන මැෂින් ලබා දීමේ ප‍්‍රධාන අරමුණ තමයි කොරෝනා වෛරස් තත්ත්වය හේතුවෙන් කොළඹ නගරයේ අතිශයින් පීඩාවට පත් වී සිටින ජනතාවට සවියක් වීම.

තව වසර දෙක තුනක් ගත වන තුරු අපි සියලූම දෙනාට මුව ආවරණ පැළඳීමට සිදුවේවි. එතකොට එක් දිනකට එක් මුඛ ආවරණයක් පැළඳීමට අපිට වත්කමක් නොමැති වේවි. විශේෂයෙන්ම සෝදා නැවත වාරයක් පාවිච්චියට ගත හැකි මුව ආවරණ ජනතාවට ලබාදීමට කටයුතු කළ යුතුයි. ඒ වගේම පෞද්ගලික ආයතන හරහා මුව ආවරණ ලක්ෂ හය හමාරක් නිෂ්පාදනය කිරීමට අවශ්‍ය රෙදි අප වෙත ලබාදී තිබෙනවා. ස්වයං රැුකියාවක් ලෙස මුව ආවරණ මැසීමට කැමති පිරිස් වෙත ඒ සඳහා අවශ්‍ය කරන රෙදි සහ ඉලාස්ටික් පටි ද ලබාදීමට අපි කටයුතු කරනවා. ඒ වගේම ඔවුන් මසා නිම කරන මුව ආවරණ මහජනාධාර දෙපාර්තමේන්තුව මගින් එක් මුඛ ආවරණයක් රුපියල් 10 ක මුදලකට මිලදී ගැනීමටත් කොළඹ නාගරික බල ප‍්‍රදේශය තුළ ඒවා නොමිලේ බෙදා දීමටත් කටයුතු කරනවා.

හුදෙකලා කර ඇති ප‍්‍රදේශවල සිටින ජනතාවට පමණක් නොවෙයි කොළඹ නාගරික බල ප‍්‍රදේශයේ අසරණ පවුල්වල එක්ලක්ෂ හැත්තැ දහසක ජනතාව සඳහා වියළි ආහාර ලබාදීමට අප කටයුතු කළා.

විශේෂයෙන්ම නිදන්ගත රෝගීන් ලක්ෂයකට පමණ ජංගම වෛද්‍ය සේවය හරහා නොමිලේ ඖෂධ ලබා දීමටත්, මහල් නිවාසවල සිටින ජනතාවට අවශ්‍ය ඖෂධ ලබා දීමටත් කොළඹ නගර සභාව කටයුතු කර තිබෙනවා.”

මෙම අවස්ථාවට නගරාධිපති මහජන සම්බන්ධීකරණ ලේකම්වරුන් වන ජයශංකර් මහතා, තුෂාරි පෙරේරා මහත්මිය, නාගරික මන්ත‍්‍රී තුෂාර මනම්පේරිය මහතා ඇතුළු නාගරික මන්ත‍්‍රීවරු ද සහභාගි වූහ.

Related posts

Leave a Comment