Noize News 

සහරාන්ලා ගැන අනතුරු ඇඟෙව්වා, හිටපු ජනපති උනන්දුවක් දැක්වූයේ නෑ – ශානි කියයි

මාවනැල්ලේ බුදු පිළිම කැඩීම සහ වනාතවිල්ලුවෙන් පුපුරණ ද්‍රව්‍ය සොයාගැනීම යන සිද්ධීන්වලට එකම කණ්ඩායමක් සම්බන්ධ බව හා ඔවුන් ඉදිරියේදී විනාශකාරි ක්‍රියාවකට යොමුවිය හැකි බවට පාස්කු ප්‍රහාරයට පෙර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුවත් කළ බව ශානි අබේසේකර මහතා පවසයි.

කොළඹ ජාතික රෝහලේ සිට ස්කයිප් තාක්ෂණය ඔස්සේ පාස්කු කොමිසම වෙත අද (26) දෙවන දිනටත් සාක්ෂි ලබාදෙමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා කියා සිටියේ, හිටපු ජනාධිපතිවරයා ඒ පිළිබඳ උනන්දුවක් නොදැක්වු බවය.

2019 ජනවාරි මස 16 වන දින වනාතවිල්ලුව ලැක්ටෝ වත්තෙන් විශාල පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගැනීමත් සමග කවර නිගමනයකට පැමිණියේද යන්න මෙහිදී රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා ප්‍රශ්නකර සිටියේ ය.

එයට පිළිතුරු දෙමින් ශානි අබේසේකර මහතා කියා සිටියේ යම් අපරාධ කල්ලියක් විශාල ජීවිත හානියක් කිරීමට සැලසුම් කර ඇති බවක් තමන්ට වැටහුණු බවය.

අදළ පුපුරණ ද්‍රව්‍ය සොයාගැනීම සිදුවුයේ මාවනැල්ල බුදු පිළිම කැඩිමේ සිදුවීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේ දිගුවක් ලෙස බව පැවසු අබේසේකර මහතා වැඩිදුරටත් කියා සිටියේ එම සිදුවීම් දෙකටම සම්බන්ධ එකම අන්තවාදි කණ්ඩායමක් බවට විමර්ශනවලදී අනාවරණය වු බවය.

අදාළ කණ්ඩායමේ නායකයා සහරාන් හෂිම් නැමැත්තෙකු බව හා ඔහු අත්අඩංගුවට ගැනීමට තමන් යටතේ සිටි පොලිස් පරීක්ෂක මාරසිංහ ඇතුළු කණ්ඩායම උත්සහ ගනිමින් සිටි බව සාක්ෂිකරු සඳහන් කර තිබේ.

එහිදී කොමිසමේ සාමාජික අභියාචනාධිකරණය විනිසුරුවරයා ප්‍රශ්න කළේ විමර්ශන තුළින් සහරාන් හෂීම් පිළිබඳ කරුණු අනාවරණය වී තිබියදීත් ඔහු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොහැකි වුයේ මන්ද යන්නය.

“ස්වාමිනි, අපි සමාන්‍යයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේදී ඔවුන් රැඳීසිටින ස්ථාන සොයාගනු ලබන්නේ දුරකථන කුළුණු වාර්තා ඔස්සේයි. නමුත් මේ සහරාන් හෂීම් ඇතුළු කණ්ඩායම ‘ත්‍රීමා’ කියන ඇප් එක භාවිතා කරලා තමයි සම්බන්ධතා පවත්වා තිබුනේ. ඒ නිසා අපිට ඔවුන් රැඳීසිටින ස්ථාන නිශ්චිතව තහවුරු කරගන්න හැකිවුණේ නැහැ. අපි ඒ ඇප් එක අයිති සමාගමෙන් තොරතුරු ඉල්ලුවා. මා ළඟ ලිඛිත සාක්ෂි තිබෙනවා,” යැයි ශානි අබේසේකර මහතා පිළිතුරු දුනි.

“ස්වාමිනි ඔය කියන කාල වකවානුවේ එක්තරා දිනක මමයි, ඒවෙද්දි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස ඉඳපු රවී සෙනෙවිරත්න මහත්මයයි ප්‍රකාශයක් ගන්න හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව හමුවෙන්න පැජට් පාරේ නිවසට ගියා. එතනදි ප්‍රකාශය අරන් ඉවරවෙලා රෑට කෑම කන ගමන් අපි ජනාධිපතිවරයාට මෙහෙම කිව්වා. “සර් මාවනැල්ලටයි, ලැක්ටෝ වත්තටයි එකම කණ්ඩායමක් සම්බන්ධ නිසා මේක සුළුවෙන් තකන්න එපා. ඔවුන් විශාල විනාශයක් කරන්න පුළුවන්. සර් මේ ගැන ආරක්ෂක කවුන්සලයේදි කතා කරන්න,” කියලා.

“‘හරි, රවී මම ඒ ගැන කතාකරන්න අවස්ථාවක් අරන් දෙන්නම්,’ යැයි එවිට හිටපු ජනාධිපතිවරයා කිව්වා. නමුත් කිසිම අවස්ථාවක ඒ ගැන කතාකරන්න එතුමා අපිට කැඳවීමක් කළේ නැහැ,” යැයි ශානි අබේසේකර මහතා වැඩිදුරටත් සාක්ෂි දෙමින් සඳහන් කළේය.

එහිදී කොමිසමේ සමාජික අභියාචනාධිකරණය විනිසුරුවරයා ප්‍රශ්න කළේ, “ඔබ එම අවස්ථාවේදි සහරාන්ගේ නම කිව්වේද?,” යන්නය.

“සහරාන්ගේ කියලා නම නම් කිව්වේ නැහැ ස්වාමිනි. නමුත් අපි පැහැදිලිව අන්තවාදී කණ්ඩායම ගැන කිව්වා. සංවිධානයක් කිව්වාම ගණන් ගන්නේ නැති කෙනා පුද්ගලයෙක්ගේ නමක් කිව්වාම ගණන් ගනීද? මොකද සහරාන් කියන්නෙත් නමක් විතරයි,” යැයි සාක්ෂිකාර ශානි අබේසේකර මහතා පැවසීය.

Related posts

Leave a Comment