Noize News 

ජෝ බයිඩන්ට කමලා හැරිස්ට ජනපති-අගමැති සුබ පතති

අමෙරිකාවේ 46 වැනි ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන් ජෝ බයිඩන් මහතාට සහ උප ජනාධිපතිනි කමලා හැරිස් මහත්මියට ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහත්වරු සිය සුබ පැතුම් කර තිබේ.

දෙරට අතර සබඳතා තවදුරටත් ඉහළ නංවා ගැනීම අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසයි.

මේ අතර අගමැති මහින්ද රාජපක්ෂ මහතා ද සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සුබ පැතුම් එක්කර ඇත.

දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවය තවදුරටත් ශක්තිමත් කිරීම වෙනුවෙන් අමෙරිකානු ජනාධිපතිවරයා හා එක්ව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා සදහන් කර තිබෙන අතර ජෝ බයිඩන් මහතාගේ ධූර කාලය වෙනුවෙන් තමා සුබ පතන බව ද එම සටහනේ වැඩිදුරටත් දක්වා තිබේ.

අමෙරිකා එක්සත් ජනපදයේ 46 වැනි ජනාධිපතිවරයා ලෙස ඩිමොක්‍රටික් පක්ෂයේ ජෝ බයිඩන් මහතා වොෂින්ටන් අගනුවර කැපිටල් ගොඩනැගිල්ලේ දී පෙරේදා (20) දිවුරුම් දුන්නේ ය. අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍රවිනිශ්චයකාර ජෝන් රොබට්ස් ඉදිරියේ දී අමෙරිකානු ඉතිහාසයේ වයස්ගතම ජනාධිපතිවරයා ලෙස 78 හැවිරිදි ජෝ බයිඩන් දිවුරුම් දී තිබේ.

එම දිවුරුම්දීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සෝනියා සොටොමෙයර් ඉදිරියේ උප ජනාධිපතිනිය දිවුරුම් දී තිබෙන අතර කමලා හැරිස් මහත්මිය 56 හැවිරිදි වියේ පසුවෙයි. ඇය අමෙරිකා එක්සත් ජනපදයේ පළමු උප ජනාධිපතිවරිය ලෙස ඉතිහාසයට එක්වෙයි.

ඇය අමෙරිකාවේ උප ජනාධිපති ධුරයට පත් පළමු කළු ජාතික කාන්තාව, පළමු දකුණු ආසියානු සම්භවයක් ඇති තැනැත්තිය, අමෙරිකානු, අප්‍රිකානු සහ අමෙරිකානු ආසියානු සම්භවයක් ඇති තැනැත්තිය ද වේ.

Related posts

Leave a Comment