Noize News 

ඇමැති මහින්දානන්ද නිදොස් කොට නිදහස් කළ හැකියි

ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව මහින්දානන්ද මහතාව නිදොස්කොට නිදහස් කිරීමට හැකි බව ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා කොළඹ මහාධිකරණයේ කරුණු දක්වමින් ඊයේ (21)පැවසීය. නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ලේ සාක්ෂි මෙහෙයවීම අවසන් කරන්නේ නම් විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200 වගන්තිය ප්‍රකාරව විත්තිකරු නිදොස් කොට නිදහස් කරන ලෙසට ඉල්ලීමක් ඉදිරිපත් කරන බවද ලද්දුවහෙට්ටි මහතා පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රසයය නැමැති වෘත්තීය සමිතියේ සභාපති වරයා වශයෙන් කටයුතු කරමින් එම සමිතියට අයත් රුපියල් ලක්ෂ 39 ක මුදලක් ‍ සාවද්‍ය ලෙස පරිහරණය කෙළේ යැයි චෝදනා කොට අැමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව ඉකුත් යහපාලන ආණ්ඩුව සමයේ ගොනුකර තිබූ නඩුව මහාධිකරණය හමුවේ කැඳවු අවස්ථාවේ ලද්දුවහෙට්ටි මහතා එසේ පැවසීය.

කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේ ඊයේ(21)මෙම නඩුව කැඳවීය.

නීතිපතිවරයා වෙනුවෙන් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා මෙම නඩුවට පෙනී සිටින අතර ඒ මහතා අසනීප තත්ත්වයේ පසුවන හෙයින් නඩු විභාගය සදහා වෙනත් දිනයක් ලබා දෙනලෙසට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය අධිකරණයෙන් ඉල්ලා සිටියාය.

නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි විභාගය අවසන් බැවින් නැවත පැමිණිල්ලේ සාක්ෂි කැදවනවාද? නැද්ද? යන්න පිළිබඳ ඉදිරි දිනයේදි අධිකරණය දැනුවත් කරන බවද රජයේ නීතිඥවරිය දන්වා සිටියාය.

එම කරුණු දැක්වීමෙන් අනතුරුව අදහස් දැක්වු ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා සඳහන් කළේ පැමිණිල්ලේ සාක්ෂි කැඳවීම අවසන් කරන්නේ නම් විත්තියේ සාක්කි කැඳවීමකින් තොරව විත්තිකාර මහින්දානන්ද මහතා නිදොස් කොට නිදහස් කරන ලෙසට ඉල්ලිමක් අධිකරණයට ඉදිරිපත් කරන බවය.

Related posts

Leave a Comment