Noize News 

වාසුදේව ඇසුරු කළ ඇමැතිවරු 10ක් නිරෝධායනයට

පසුගිය සතියේ පාර්ලිමේන්තුව පැවැති දින හතරේදීම වාසුදේව නානායක්කාර ඇමැතිවරයා රැස්වීම්වලට සහභාගි වී ඇති අතර කොවිඩ් ආසාදිතයකු බවට ඊයේ (11 වැනිදා) පෙරවරුවේ තහවුරු වීමෙන් පසු පාර්ලිමේන්තු සංකීර්ණයේ ඔහු සංචරණය කළ ස්ථාන සහ සමීප ආශ්‍රිතයන් සී.සී.ටී.වී. දර්ශන ඔස්සේ අනාවරණය කරගෙන ඇත.

මෙම දින හතර පුරා සභා ගැබේ මෙන්ම ඉන් පිටතදීද ඇමැතිවරයා සමග ආණ්ඩු පක්ෂයේ ඇමැතිවරුන් දස දෙනකු සහ කාර්ය මණ්ඩලයේ පහළොස් දෙනකු සමීපව ආශ්‍රය කර ඇතැයි හඳුනාගත් බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසයි.

එම ඇමැතිවරුන්ට සහ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන්ටද පී.සී.ආර්. පරීක්ෂණයට ලක්වන ලෙස හා නිරෝධායනය වන ලෙසට දැනුම් දී ඇති බවත් මෙම ඇමැතිවරුන්ගේ නම් තමන්ට හෙළි කළ නොහැකි බවද වේත්‍රධාරීවරයා ප්‍රකාශබ කර තිබේ. ෙ

වාසුදේව නානායක්කාර අමැතිවරයා සභා ගැබ අසුන් ගන්නේ ආණ්ඩු පක්ෂයේ ඉදිරි පේළියේ විසිවැනි අසුනේය. ඔහුගේ දකුණු පස ආසනයක් නොමැති අතර මඳක් යාබදව නියෝජ්‍ය වේත්‍රධාරී කුෂාන් ජයරත්න මහතා අසුන්ගෙන සිටී.

වාසුදේව නානායක්කාර ඇමැතිවරයා අසලම වම්පසින් ඇමැති එස්.එම්. චන්ද්‍රසේන සහ ඔහුට වම්පසින් ඇමැති මහින්ද අමරවීරගේ අසුන් ඇත. ඉන්පසු ඇමැති විමල් වීරවංශගේ ආසනයත් ඔහුට පිටුපසින් රාජ්‍ය ඇමැති නිමල් ලංසාගේ ආසනයත් තිබේ. වාසුදේව නානායක්කාර ඇමැතිවරයාට පිටුපස අසුනේ රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගමද ඔහු අසලින් ජයන්ත සමරවීර හා විමලවීර දිසානායක යන රාජ්‍ය ඇමැතිවරුන්ද අසුන්ගෙන සිටින බව හඳුනාගෙන ඇත.

මේ අතර අගමැතිවරයාගේ දේශපාලන කටයුතු පිළිබඳ සම්බන්ධීකරණ ලේකම්වරයාද කොවිඩ් ආසාදිතයකු ලෙස තහවුරු වී ඇති අතර ඔහුද පසුගිය සිකුරාදා පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණ ඇත. මේ අයගේ සමීප ආශ්‍රිතයන් ලෙස හඳුනාගෙන ඇති මන්ත්‍රීවරුන් විසිපස් දෙනකු පමණ මේ වන විට නිරෝධායනයට යොමු කර ඇත.

Related posts

Leave a Comment