මහජන උපයෝගීතා කොමිසම අහෝසි කිරීමට හේතුව ඇමති කෙහෙළිය කියයි

සෞභාග්‍යයේ දැක්ම රජයේ වැඩපිළිවෙළ හිතාමතාම අඩාල කරමින් ලංකා විදුලිබල මණ්ඩලය සම්බන්ධව රජය කි‍්‍රයාත්මක කළ සංවර්ධන ව්‍යාපෘතිවලට ප‍්‍රශ්න ගණනාවක් ඇති කළ නිසා මහජන උපයෝගිතා කොමිසම ඉවත් කිරීමට කටයුතු කළ බව සම කැබිනට් ප‍්‍රකාශක ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.
 
 එය නීත්‍යානුකූලව ගනු ලැබූ තීරණයක් බව කී ඇමැතිවරයා, ඊට සමගාමීව එමගින් සිදු කෙරුණු කාර්යය සාධාරණව සහ විධිමත්ව ඉටු කිරීම සඳහා විකල්ප ක‍්‍රයාමාර්ගයක් ගැනීමට දැනටමත් යෝජනා වී ඇති බවද සඳහන් කළේය. ය.
 
69ලක්‍ෂයක ජනවරමකින් තුනෙන් දෙකක බලයක් සහිතව රජයක් බලයට ඒමේදී සාමාන්‍ය සම්ප‍්‍රදාය අනුව මෙවන් කණ්ඩායම් ඉල්ලා අස්වීම සිදුවිය යුතු වුවත් වසරක් ගත වනතුරුත් එවැන්නක් සිදු නොවූ අතර, ලැබී ඇති වාර්තා අනුව අදාළ කොමිසම මගින් යම් යම් ව්‍යාපෘති හිතාමතාම ප‍්‍රමාද කළාදැයි ප‍්‍රබල සැකයක් රජයට මතු වූ බවද කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.
 
 පැහැදිලිවම කිවහොත් එය සැකයක් පමණක් නොව පසුගිය කාලයේ රජයට හොඳින්ම දැනුණු දෙයක් බවත් පවතින දේශපාලන වටපිටාව තුළ රජයට වැඩකටයුතු කරගෙන යෑමේ අපහසුතාවක් මතුවී තිබේ නම් ඒවා ඉවත් කරගැනීම රජයේ ප‍්‍රතිපත්තිය බව කී ඇමැතිවරයා, ඒ අනුව ඉහත කි‍්‍රයාමාර්ගය ගත් බවද වැඩිදුරටත් පැවසීය.
 
 
 කැබිනට් තීරණ දැනුම් දීම සඳහා ඊයේ (22 ) රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී මාර්ගගත ක‍්‍රමයට පැවැති මාධ්‍ය හමුවේදී හෙතෙම මේ බව සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *