Noize News 

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් ළඟදීම අල්ලා ගන්නවා – මහජන ආරක්ෂක ඇමැති

පාස්කු ඉරිදා ප්‍රහාරය පිටුපස සිටි මහ මොළකරුවන් පිළිබඳ කඩිනමින් සොයා ගන්නා බව මහජන ආරක්ෂක ඇමැති රියර් අද්මිරාල් (විශ්‍රාමික) ආචාර්ය සරත් වීරසේකර මහතා පෙරේදා (08) පැවැසීය. මේ වන විට නීතිපතිවරයා හමුවට විමර්ශනය සඳහා යොමු කර ඇති ගොනු අධ්‍යයනය කිරීම සඳහා නීතිඥවරුන් 12කගෙන් යුත් කණ්ඩායමක් පත් කර තිබෙන බවත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන අතරමඟ නැවතී නැති බවත් ඇමැතිවරයා කියා සිටියේය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණවල ප්‍රගතිය විමසා බැලීම සඳහා නීතිපති දප්පුල ද ලිවේරා මහතා සමඟ සාකච්ඡාවක් පෙරේදා (08) පැවැති අතර, ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇමැතිවරයා මේ බව කීවේය.

මේ වන විටත් පිපිරීම් 08ක් පිළිබඳ විමර්ශන අවසන් කර එම වාර්තා නීතිපතිවරයා වෙත භාරදී තිබෙන බවත් පැවැසීය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ වාර්තාවද ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එය නීතිපති වෙත ලැබෙන බවත් අවසන් විමර්ශනය සඳහා මේ වාර්තාව මෙන්ම පාර්ලිමේන්තු විශේෂ කාරක සභා වාර්තාවද විමර්ශනය කළ යුතු බවත් සරත් වීරසේකර මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

Leave a Comment