Noize News 

කොරෝන මරණ රජය මැදිහත්වී ආදාහනය කළත් මිනී පෙට්ටිය දිය යුත්තේ ඥාතීන්

කොවිඩ් – 19 දෙවන රැල්ල ව්‍යාප්ත වීමත් සමග මෙරටද කොවිඩ් මරණ වාර්තා වීමේ වැඩිවීමක් දක්නට ලැබෙයි.

ඊයේ පස්වරුව වන විටත් මෙරටින් කොවිඩ් මරණ 41ක් වාර්තා වී තිබුණි. කොවිඩ් ආසාදිත මරණයක් සිදුවූ පසු එම පුද්ගලයින්ගේ අවංමගල්‍ය කටයුතු සිදු කරන්නේද සාමාන්‍ය අවමංගල්‍ය උත්සවයට වඩා හාත් පසින්ම වෙනස් ආකාරයකිනි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශවලට අනුව කොවිඩ් වැලඳුණු පුද්ගලයකුගේ අවමංගල්‍ය සිදුවන්නේ ඔවුන්ගේ ඥාතියකුට පවා දේහය සමීපයට එන්නට නොහැකි වන ආකාරයෙනි.

මෙය එක් අතකින් බැලූ විට ඥාතීන්ට දැඩි මානසික කම්පනයක් ඇතිකරන සහ ඉතා වේදනාත්මක අත්දැකීමක් වන බව නිසැකය.

කොවිඩ් වැලඳී මියගිය පුද්ගලයකුගේ අවමංගල්‍ය කටයුතු එලෙස සිදුවන පසුබිමක එම ඥාතීන්ට මුහුණ දීමට සිදුවන ගැටලු පිළිබඳව මෙතෙක් කිසිදු බලධාරියකුගේ අවධානය යොමුව නැත. එය මේ වනවිට සමාජයීය ගැටලුවක් දක්වා වර්ධනය වී ඇති බව පෙනෙන්නට ඇත.

මෙරට කොවිඩ් ව්‍යාප්තියත් සමග ඉදිරියේදි සිදුවන මරණ සංඛ්‍යාව අඩුවෙතැයිද සිතීමට නොහැකිය.

කොවිඩ් වැලඳී මියගිය පුද්ගලයකුගේ ඥාතීන්ට පළමුවෙන්ම සිදුවන්නේ සිය පවුල් පිටින්ම නිරෝධායනය වීමටය. එය සෞඛාරක්ෂිත ක්‍රමවේදයක් වුවද ඔවුන්ට ප්‍රායෝගිකව ගැටලු රැසකට මුහුණ දීමට සිදුවෙයි.

කොවිඩ් වැලඳී මියගිය පුද්ගලයකුගේ ආදාහන කටයුතු මේ වන විටත් සිදුකරනු ලබන්නේ රජයේ මැදිහත් වීමෙනි.

නමුත් මෙම දේහයන් තැන්පත් කිරීමට අවශ්‍ය වන ‘මිනී පෙට්ටිය’ ලබාදීම සිදු කළ යුත්තේ පවුලේ ඥාතීන්ය.

එහෙත් කොවිඩ් වැලඳුණු පුද්ගලයකුගේ පවුලේ ඥාතීන් සෞඛ්‍ය නීතිරීතිවලට අනුව නිරෝධායනය වන පසුබිමක ඔවුන්ට තම මියගිය ඥාතියා වෙනුවෙන් මිනී පෙට්ටියක් ලබාදීමට අවශ්‍ය මැදිහත්වීම කිරීමට අපහසු තත්ත්වයක් උදාවී ඇත. ඒ වන විටත් ඇතැමුන් නිරෝධායනයට ලක්වීම නිසා සියලු ආදායම් මාර්ගද බිඳ වැටී තිබේ.

අපේ රටේ මල් ශාලාවල අඩුම වටිනාකමකින් යුතු දැවලින් නිම කළ මිනී පෙට්ටියක මිලද රුපියල් විසි දහසක් පමණ වන අතර ඊට වඩා අඩුවන්නේ නැත.

කොවිඩ් වැලඳී මියගිය පුද්ගලයකුගේ ඥාතීන්ද නිරෝධායනය වන අවස්ථාවක මෙවැනි මුදලක් ගෙවා පෙට්ටියක් මිලදී ගැනීමද ඔවුන්ට ගැටලුවක් බවට පත්වී ඇත.

මෙවැනි තත්ත්වයක් මත ඇතැම් වෙලාවල්වලදී කොවිඩ් වැලඳි මියගිය පුද්ගලයන්ගේ දේහයන් තැන්පත් කිරීමට කොළඹ රජයේ රෝහල්වල වෛද්‍යවරුන්ට මිනී පෙට්ටි මිලදී ගැනීමට සිදුව ඇති බව බලධාරීන් තවමත් නොදැන සිටින්නට පුළුවන.

ආරංචි මාර්ගවලට අනුව මිනී පෙට්ටියක් මිලදී ගැනීමට එම ඥාතීන්ට නොහැකි වූ අවස්ථාවලදී කොළඹ ඇතැම් රජයේ රෝහල්වල වෛද්‍යවරු සද්භාවයෙන් මුදල් එකතු කොට මිනී පෙට්ටි ලබාදී ඇති බව දැන ගැනීමට ලැබුණි.

කොවිඩ් වැලඳී මියගිය පුද්ගලයකුගේ දුර ඥාතියකුට වුවද මල් ශාලාවකට ගොස් මිනී පෙට්ටියක් ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇත්තේ එසේ වුවහොත් මල් ශාලා හිමියන්ද සේවකයන්ද ආශ්‍රිතයන් සේ සලකා නිරෝධායනයට ලක් කරන හෙයිනි.

මීට අමතරව අද වන විට මල් ශාලා හිමියන් කොවිඩ් මරණ ආදාහනයට භාර නොගන්නා තත්ත්වයට පත්ව ඇත. ඊට හේතුව එම අවස්ථාවට සම්බන්ධ වන මල් ශාලා සේවකයන් දින දාහතරක් නිරෝධායනයට යොමු වීමයි.

මෙම තත්ත්වය මත මෘත ශරීරාගාර තැන්පත්කළ හැකි ප්‍රධාන රෝහල්වලට ගිලන් රථ ලබාදී ඇත්තේ මෘත ශරීර ප්‍රවාහනය කිරීම සඳහාය.

කොවිඩ් මරණකරුවන්ගේ ආදාහනය සිදු කළ යුතු ආකාරය පියවර ගණනාවකින් සමන්විතය.

ඒ නම් මේ සඳහා අධිකරණ පරීක්ෂණයක් අවශ්‍ය නොවේ, දේහය රැගෙන යාම සහ සූදානම් කිරී‍ම් කටයුතුද අවම මට්ටමක පවත්වාගෙන යා යුතුය. රෝහල් ගොඩනැගිල්ලේ කලින් නියම කළ ස්ථානයකදී සමීප ඥාතියකුට දේහය දැක බලාගත යුතුය. එසේම එම්බාම් කිරීම හා මරණ පරීක්ෂණ නොමැති අතර සිරුරද නිවසට රැගෙන යා නොහැකිය. සිරුර බහාලීමට යොදා ගනු ලබන්නේ බෑගයකි. එම සිරුර තැන්පත් කර සීල් තැබිය යුතුය.

දේහය රැගෙන යාම සඳහා අවමංගල්‍ය සේවකයකු විසින් එසේ සීල් තැබූ දේහය මිනි පෙට්ටියක තැන්පත් කළ යුතුය.

ගැටලුව මතුවන්නේ, මෙලෙස මිනී පෙට්ටියක් ලබා ගැනීමේදී සිදුවන අපහසුතාවන් සමගය. කොවිඩ් වැලඳුණු පුද්ගලයකුගේ අවසන් කටයුතු රජයේ මැදිහත් වීමෙන් සිදු කිරීම සෞඛ්‍ය ආරක්ෂිත වනවා සේම, එම මියගිය පුද්ගලයා වෙනුවෙන් මිනී පෙට්ටිය රජය මගින් ලබා දෙන්නට හෝ ඒ සඳහා වෙනත් විකල්ප ක්‍රමවේදයක් ඇති කරන්නේ නම් එය මියගිය අයගේ ඥාතීන්ට අස්වැසිල්ලක් වනවා සේම මියගිය තැනැත්තාටද කරන ඉමහත් ගෞරවයකි.

උපුටා ගැනීමකි

Related posts

Leave a Comment