Noize News 

කාදිනල්තුමාට අපහාස නැඟූ කුවේණියගේ අවතාරය

පසුගියදා එක්තරා කාන්තාවක් සමාජ මාධ්‍ය ඔස්සේ කොළඹ අගදරගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ට කළ අපහාසාත්මක ප්‍රකාශයක් ඇතුළත් වීඩියෝ පටයක් නිකුත් වුණා.

ඒ පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් අගදරගුරු හිමිපාණන්ගේ පරිපාලන ලේකම් ගරු ඩෙනින්ටන් සුබසිංහ පියතුමා පැවසුවේ එම කාන්තාව විසින් මුහුණුපොත හරහා සමාජ මාධ්‍යයට මුදාහැර ඇති වීඩියෝ හඬ පටයේ අන්තර්ගතය සාවද්‍ය , පදනම් විරහිත, අපහාසාත්මක සහ ජනතාව නොමඟ යවන සුළු අභූත ප්‍රකාශයක් බවයි.

එම තැනැත්තිය සම්බන්ධයෙන් නීතිමය පියවර ගනු සඳහා තමා අදාළ ආයතන සහ අංශවලට පැමිණිලි බාර දී තිබෙන බවද උන්වහන්සේ එම නිවේදනයෙන් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබිණා.

ඒ අනුව පසුගිය 19 වැනිදා බත්තරමුල්ල ප්‍රදේශයේදී එම කාන්තාව පොලිස් අත්අඩංගුවට පත්විය. ඇය දීප්ති සමන්කුමාරි මදනායක නමැති 43 හැවිරිදි කාන්තාවකි. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් ඇය අත්අඩංගුවට ගැනීමෙන් පසු ඒ පිළිබඳ අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මෙසේ පැවසා තිබුණා..

“මැල්කම් කාදිනල් හිමිපාණන් ගැන සඳහන් කරමින්, විශේෂයෙන් බෞද්ධ හා කතෝලික ආගම් සහ ආගමික භක්තිකයන් යම් ආකාරයක ද්වේෂයක් හා වෛරයක් ඇතිවන ආකාරයේ ප්‍රකාශයක් නිකුත් කරමින් සමාජ ජාලාවලට වීඩීයෝවක් මුදා හැරීම සම්බන්ධයෙන් එම කාන්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. ඇය විසින් මුදා හැර ඇති වීඩියෝව මඟින් යම් ආකාරයකට බෞද්ධ භක්තිකයන් ඒවගේම කිතුනු භක්තියකින් අතර යම් ආගමික වෛරයක් ඇති කිරීමට උත්සාහ දරා ඇති බවට පෙනී ගොස් තිබෙනවා. ආගමික කණ්ඩායම් අතර වෛරය හා සතුරුකම අවුස්සන ප්‍රචාර වැළැක්වීමට අපි නිරන්තරයෙන් ජනතාව දැනුවත් කරනවා වගේම ඒ සඳහා නීතිය බලාත්මක කරනවා”

අත්අඩංගුවට ගත් සැකකාරිය පසුගිය 19 වැනිදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාර් වෙත ඉදිරිපත් කිරීමෙන් පසු නොවැම්බර් 2 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා. එහිදී නීතිපති දෙපාර්තමේන්තුව විසින් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් මාධව තෙන්නකෝන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ පසුගිය 7 වැනිදා සැකකාරිය විසින් මුහුණුපොත තුළ පවත්වාගෙන යන “තනි මම හෙට වෙනුවෙන්” නම් ගිණුම මඟින් කතෝලික ආගමේ ප්‍රධානියා වන කාදිනල්තුමන්ට ද්වේශ සහගත සහ අපහාසාත්මක අයුරින් ප්‍රකාශයක් සමාජගත කර ඇති බවයි. ඒ අනුව දණ්ඩ නීති සංග්‍රහයේ 291 (අ) වගන්තියට යටතේ හා පරිගණක අපරාධ පනත යටතේ වරදක් සිදුකර ඇති බව විමර්ශනවලින් අනාවරණය වන බවත් සැකකාරිය අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කළ බවත් ඇයගේ මානසික තත්ත්වය පරීක්ෂා කිරීමට ජාතික මානසික සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා වෙත යොමුකර වාර්තාවක් කැඳවීමට නියෝග කරන ලෙසත් හෙතෙම වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

Related posts

Leave a Comment