Noize News 

කටුනායක වැසීමේ පාඩුව කෝටි 900ක්!

කොරෝනා (කොවිඩ් -19) වයිරස ව්‍යාප්තියත් සමඟ කටුනායක ගුවන් තොටුපොළ වසා දැමීමෙන් මේ වන විට සිදුවී තිබෙන පාඩුව (මෙහෙයුම් අලාභය) රුපියල් කෝටි නවසියය ඉක්මවා ඇතැයි ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ උප සභාපති රජිව් සූරියආරච්චි මහතා ‘මව්බිම’ට පැවැසීය. 

සාමාන්‍යයෙන් ගුවන් මෙහෙයුම් සිදුවූයේ නම් මේවන විට රුපියල් කෝටි පහළොස් දහසක පමණ ලාභයක් ඉපැයීමට හැකියාව තිබුණද මේ වසරේ මෙහෙයුම් ලාභය රුපියල් කෝටි හයසියයකට  සීමා වී ඇතැයිද සූරියආරච්චි මහතා කීය.

මේ වන විට ගුවන් මෙහෙයුම් කටයුතු විශාල වශයෙන් නතර වී ඇතැයිද කාගෝ ගුවන් ගමන් විශාල ලෙස අඩු වී ඇතැයිද ඒ මහතා පැවැසීය. 

කොරෝනා වයිරස ව්‍යාප්තියත් සමඟ කටුනායක ගුවන් තොටුපොළ වසා දැමූ පසු මෙරටට සංචාරකයන්ගේ පැමිණීමද නතර කළ නිසා රටට විශාල ආදායමක් අහිමි වී ඇතැයිද ඒ මහතා කීය.

මෙරටට සංචාරකයන්ගෙන් සියයට හතළිස් පහක්ම පැමිණෙන්නේ ඉන්දියාව සහ චීනය යන රටවල් දෙකෙන් බැවින් ඉන්දියානු සංචාරකයන්ට මේ මොහොතේ ගුවන්තොටුපොළ විවෘත කළ නොහැකි තරමට ඉන්දියාවේ කොරෝනා වයිරස ව්‍යාප්තිය සිදුවන බවද ඒ මහතා පෙන්වා දෙයි. 

නමුත් මෙරට සෞඛ්‍ය අංශ ප්‍රධානීන් සමඟ මේ තත්ත්වයන් පිළිබඳව නිරන්තරයෙන් සාකච්ඡා කළද කටුනායක ගුවන් තොටුපොළ සම්පූර්ණයෙන් විවෘත කරන දිනය ප්‍රකාශ කළ නොහැකි බවද ඒ මහතා පැවැසීය.

Related posts

Leave a Comment