“2017, 2018, 2019, වර්ෂවල දත්ත මැකිලා” ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව කෝප් එකේ මාට්ටු!

සීමාසහිත ලංකා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව තුළ 2016 වර්ෂයෙන් පසුව කිසිදු මුල්‍ය ප්‍රකාශන වාර්තාවක් සකස්කොට නොමැති බව කෝප් කමිටුවේ දී අනාවරණය විය.

මේ පිළිබඳව තොරතුරු අනාවරණය වූයේ සීමාසහිත ලංකා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ 2015 සහ 2016 මූල්‍ය වර්ෂ සඳහා වූ විගණකාධිපති වාර්තාව සහ එහි වර්තමාන කාර්ය සාධනය පිළිබඳව සාකච්ඡා කිරීමට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී (මහාචාර්ය) චරිත හේරත් මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය දා (19) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

මෙහිදී පැමිණ සිටි නිලධාරීන් සඳහන් කළේ පරිගණක මෘදුකාංග ගැටලුවක් හේතුවෙන් 2017, 2018, 2019, වර්ෂවලට අදාළ දත්ත මැකී ගොස් ඇති බවයි. මේ නිසා මූල්‍ය ප්‍රකාශන පිළිබඳ තොරතුරු නොමැති බව ඔවුහු සඳහන් කළහ.

ඒ අනුව කෝප් සභාපතිවරයා සඳහන් කළේ එය නිදහසට කාරණාවක් නොවන බවයි. මෙම දත්ත අමතර ස්ථානයක ගබඩා කොට තැබීම කළ යුතු බවත් එහිදී කෝප් සභාපතිවරයා අවධාරණය කළේය. එසේම මේ පිළිබඳ වගකීම දරන පුද්ගලයන් කවුරුන්ද යන්න පිළිබඳව ද කෝප් සභාපතිවරයා මෙහිදී ප්‍රශ්න කළේය.

තවද තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙම දත්ත මැකී ගිය බව සඳහන් කළ ද මෙහි යම් ගැටලුවක් පවතින බවට සාධාරණ සැකයක් මතුවන බවද හෙතෙම පැවසීය. එබැවින් හැකි ඉක්මනින් මේ පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පරීක්ෂණයක් ගොනු කරන ලෙස කෝප් කමිටුව විසින් නිර්දේශ කරන ලදී.

විශේෂයෙන්ම මෙම මූල්‍ය වාර්තා පිළිබඳ තොරතුරු සඳහන් නොවන බැවින් 2016 වර්ෂයේ සිට සිදු වී ඇති යම් යම් මූල්‍ය කටයුතු පිළිබඳ කෝප් කමිටුවේදී නිවැරදිව සාකච්ඡා කිරීමට නොහැකි බවද මෙහිදී කෝප් සභාපතිවරයා විසින් පෙන්වාදීම සිදු කරන ලදී.

එසේම 2018 වර්ෂයේ දී ලංකා බැංකුවෙන් ලබාගෙන තිබූ රුපියල් මිලියන 500 ක ණය මුදල් වියදම් කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය. මේ අනුව අනාවරණය වූයේ මෙම ණය මුදලෙන් වැඩි ප්‍රමාණයක් සේවක වැටුප් ගෙවීම සඳහා වියදම් කොට ඇති බවයි. එසේම මීට පෙර ලංකා බැංකුවෙන් ලබාගත් ණය මුදලක් ගෙවීමද මෙම ණය මුදල් මඟින් සිදුකර ඇති බවද මෙහිදී අනාවරණය විය. එසේම මෙම ණය මුදල් ගෙවීම 2023 වර්ෂයේ සිට නැවත ආරම්භ කළ යුතුය. නමුත් සීමාසහිත ලංකා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ සාමාන්‍යාධිකාරිවරයා ඇතුළු අනෙකුත් නිලධාරීන් මෙම මුදල් ගෙවීම 2023 වර්ෂයේ සිට ආරම්භ කළ යුතු බව නොදැනුවත් බවත් මෙහිදී අනාවරණය විය.

විශේෂයෙන්ම මෙහිදී සඳහන් වූ තවත් කරුණක් වූයේ මෙම සංස්ථාව සතුව ස්ථිර වෘත්තීය තනතුරක් ලෙස සාමාන්‍යාධිකාරීවරයාගේ තනතුර පමණක් පවතින බවයි. අනෙකුත් තනතුරු කොන්ත්‍රාත් පදනම මත පිහිටුවා ඇති බවත් මෙහදී සඳහන් විය. එබැවින් මෙම සංස්ථාවේ සේවය කරන මූල්‍ය අධ්‍යක්ෂවරිය මේ වන විටත් සිය ඉල්ලා අස්වීම ප්‍රකාශ කොට ඇති බවත් මෙහිදී සඳහන් විය. නමුත් මෙම සංස්ථාව කෝප් කමිටුව හමුවට කැඳවීම පෙර දිනකදී දන්වා තිබූ බැවින් කෝප් කමිටු රැස්වීමට සහභාගී වීම සඳහා පමණක් ඇය තවමත් සේවයේ සිටින බවත් මෙහිදී සඳහන් විය.

එබැවින් ඇය මෙම රැකියාවෙන් ඉවත් වුවද මෙම සංස්ථාවේ පවතින මූල්‍ය ප්‍රශ්න පිළිබඳ වඩාත් හොඳින් ඇය දැනුවත් බැවින් වෙනත් රැකියාවකට යාම සඳහා ඇයට අවසර ලබා දුන්නද ඇය බාහිර පුද්ගලයෙක් ලෙස සම්බන්ධකරගෙන ඇයගේ සහය යටතේ මෙම මූල්‍ය ප්‍රකාශන විධිමත්ව සකස් කරන ලෙසත් කෝප් සභාපතිවරයා නිර්දේශ කළේය.

එසේම සීමාසහිත ලංකා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ සභාපතිවරයා පසුගිය අප්‍රේල් 18 දින තම ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත්කොට ඇති බවත් මෙහිදී අනාවරණය විය. නමුත් මේ පිළිබඳ අධ්‍යක්ෂ මණ්ඩලයේ සහ අමාත්‍යාංශ අනුමතිය තවම ලැබී නැති බැවින් ඔහුගේ ඉවත්වීම තවමත් නීත්‍යානුකූල නැති බවත් එබැවින් අප්‍රේල් 21 දින ඔහු කෝප් කමිටුවට කැඳවීමට නිර්දේශ කරන බවද කෝප් සභාපතිවරයා මෙහිදී සඳහන් කළේය.

තවද 2017 වර්ෂයේදී ගොඩනැගිල්ලක සිදුකරන ලද නවීකරණ කටයුත්තක් හේතුවෙන් මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් පැවති ලිපිගොනු අස්ථානගත වී ඇති බවද මෙහිදී අනාවරණය විය.

මේ අනුව මාස 3ක් ඇතුළත 2017, 2018, 2019 වර්ෂවලට අදාළ මූල්‍ය වාර්තා සකස්කරන ලෙස සහ ව්‍යාපාර සැලැස්ම සකස්කරන ලෙස කෝප් කමිටු සභාපතිවරයා විසින් අවසාන වශයෙන් නිර්දේශ කරන ලදී.

මෙම කාරක සභාව සඳහා රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඉරාන් වික්‍රමරත්න, (ආචාර්ය) හර්ෂ ද සිල්වා, මධුර විතානගේ, ජයන්ත සමරවීර සහ ජගත් පුෂ්පකුමාර යන මහත්වරු සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published.